අද අපේ රට අසමත් රටක්, බංකොලොත් රටක් බවට පත්ව තිබෙන බවත් මේ තත්වයෙන් රට ගොඩ ගැනීමට තිබෙන ප්‍රධානම මාවත අධ්‍යාපනය පමණක් බවත් අපේ අනාගතය අධ්‍යාපනය බවත් අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.

ඒ මහතා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේ නිදහස ලබාගත් අවදියේදී මේ රටේ ආධී නායකයන් පංච විධ නිදහසක් ගැන කථා කළ බවයි. එනම්

  1. නොදැනුවත්කමින් නිදහස

  2. බඩගින්නෙන් නිදහස

  3. අඟහිඟකම් වලින් නිදහස

  4. ලෙඩරෝගවලින් නිදහස

  5. ආගමක් ඇදහීමේ නිදහස

මෙම පංචවිධ නිදහස උරුමයෙන්ම සාක්ෂාත් කරගත හැකි වන්නේ අපේ සමාජය ප්‍රධාන වශයෙන් නොදැනුවත්කමින් නිදහස් කරගත් විට පමණක් බව ඒ මහතා පාර්ලිමේන්තුව තුලදී පැවසීය.

ඉම්තියාස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,

දෙවන ලෝක යුද්ධයේදී පොලවට සමතලාවුණු, විනාශවුණු, ජපානය, කොරියාව ඇතුළු රටවල් බොහොමයක්, අද ආර්ථික අතින්, පෙලහරපාමින් සිටින්නේ, අධ්‍යාපනය අතින් යාවත්කාලීන වෙමින්, ඉහල මට්ටමකට උසස් වන්නට ඔවුන් ගත් ඉමහත් වෙහෙස නිසයි. දුන් ප්‍රමුඛතාව නිසයි.

නමුත් අපට පිටුපසින් සිටි රටවල්, එසේ ඉදිරියට යද්දී, අපි සංසන්දනය කර බලන විට පහලටම වැටී තිබෙනවා. ඇයි ඒ? යන්න විමසීම වටිනවා.

වැරදි නිවැරදි කර ගැන්ම කරගත යුතු වෙනවා.

අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ඉහලට ගැන්මට නම්, ඉහල තත්වයකට ගෙන එන්නට නම්, අලුත් සිතීම් වලට අප යා යුුතු වෙනවා. අවශ්‍ය පහසුකම් ආදිය ලබාදීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුව තිබෙනවා.

ගිය වසරේ අලුත් විශ්වවිද්‍යාල ඇතිකරන යෝජනා තිබුණා. ජනාධිපතිවරයාගේ කථාවෙන්. අලුතින් වෛද්‍ය පීඨ ඇති කරන යෝජනා තිබුණා. මෙවැනි අලුත් නම පවතින ව්‍යාපෘති කරන්නට පෙර පවතින විශ්වවිද්‍යාල වල, පවතින පීඨයන්වල, ඇති අඩුපාඩු සපුරා ගැන්මට ප්‍රමුඛතාව දිය යුතු වෙනවා.

අද ඇත්තටම අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල, උසස් අධ්‍යාපනික ආයතනවල යථාර්ථය මොකක්ද? පවතින තත්වය කෙබඳුද? යන්න අප කාගේත් හෘද සාක්ෂිය දන්නවා.

අද රජයේ පාසල්වල තත්වය, යථාර්ථය කෙබඳුද යන්නත් අපි කවුරුත් දන්නවා. අද බොහෝ පාසල්වල ප්‍රධාන විෂයන්ට ගුරුවරුන් නැහැ. විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල. ගොඩනැගිලි නැහැ. භාගෙට හදපු ගොඩනැගිලි, වසර ගණනක් තිස්සේ ඒ විදියටම තියෙනවා.

අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. රජයේ පාසල්වල හදන ලද ගොඩනැගිලි වසර 15කින්, 20කින්, නිසි නඩත්තු කිරීම් නොමැති නිසා කඩා බිඳ දමනවා. අලුත් ගොඩනැගිලි අවශ්‍ය බව කියනවා. මහජන මුදල්, දූෂිත අරමුනු නිසා නාස්ති කිරීම අප දකිනවා. පාසල්වලට ඩෙස්ක්, පුටු නැහැ. විදුලිය නැහැ.

දරුවන්ගේ දිවා ආහාරය, සෞඛ්‍යය ප්‍රශ්නයක් වෙලා. දරුවන් කුසගින්නේ පාසල් ඒම, පාසල් කාලය තුල කලන්තෙ හැදීම, වැනි සිදුවීම්, දිනපතා වාර්තාවීම අප දකිනවා.

මේවා අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ සීමාව තුල, ඔහුට තනිව ඇමතිය හැකි ප්‍රශ්න ලෙස, මම කියන්නේ නැහැ. සුරංගනා ලෝක මවන්නේ නැතිව, මේ ප්‍රශ්න ගැන රජය බැරෑරුම්ව සලකා ඇමතිය යුතුව තිබෙනවා.