ජනාධිපතිවරයාගේ ක්‍රමය මර්දනයෙන් රට පාලනය කිරීම බවත් අනපණත් මගින් ජනතාවගේ කටවල් වහන්න ජනාධිපතිවරයා උත්සහ කරන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රීනි නිරෝෂා අතුකෝරාල මහත්මිය පැවසුවාය.

2048 දී ලංකාව ලෝකයේ තිබෙන හොදම රට බවට පත්කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් නමුත් රටේ ජනතාව තුන්වේල පිරිමසා ගැනීමේ ගැටලුවකට අදවන විට මුහුණ දී ඇති බවත් නිරෝෂා අතුකෝරාල මහත්මිය සඳහන් කළාය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැයේ ජනතාවට යහපතක් වන කිසිදු යෝජනාවක් තිබෙයි කියා විශ්වාසයක් නැති බවත් මොන යෝජනා ගෙනාවත් පොහොට්ටුවේ කණ්ඩායම අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන බවත් අතුකෝරාල මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ, ඊයේ (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අතුකෝරාල මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවන් ලෙස මාධ්‍යවේදීන්ව මුල් ලෝකයම පිළිගන්නවා. හඩක් නගන්න බැරි මිනිසුන්ගේ හඩ තමයි මාධ්‍යවේදීන් කියන්නේ. මාධ්‍යවේදීන්ගේ නිදහස අගය කරලා තිබෙනවා. 2001 දී සාපරාධී අපරාධ නීතියෙන් මාධ්‍යවේදීන්ව ඉවත් කරපු රනිල් වික්‍රමසිංහ රටේ විකාශන අධිකාරී පනත , ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා මාධ්‍යවේදීන්ව බිත්තියට හේත්තු කරන්න උත්සහ ගනිමින් සිටිනවා. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිදහස බිත්තියට හේත්තු කරලා මැතිවරණ තියන්නේ නැතුව මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් රනිල් විකුමසිංහ රට ඒකාධිපති පාලනයකට රට අරගෙන යන්න උත්සහ කරනවා. ජනාධිපතිවරයාගේ ක්‍රමය වෙන්නේ මර්දනයෙන් මේ රට පාලනය කිරීම. අනපණත් මගින් ජනතාවගේ කටවල් වහන්න තමයි ජනාධිපතිවරයා උත්සහ කරන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනමතයකින් බලයට එන්න බැරි පුද්ගලයෙක්.

එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙකුගේ ගීතයක් විනාශ කරලා දැම්මා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහත් අනුන්ගේ ජනාධිපතිධූරයක් අරගෙන බලෙන් රට මර්දනය කරමින් පාලනය කරනවා. අනුන්ගේ දේවල් බලෙන් අරගෙන විනාශ කරලා කාලා දානවා. එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ජනාධිපතිවරයා කියනවා එක්සත් ජාතික පක්ෂය ස්මාර්ට් කරන්න ඕන කියලා. පක්ෂය ස්මාර්ට් කරන්න කලින් රට ස්මාර්ට් කරන්න ඕන. රටේ මිනිස්සු ණය බරින් බදු බරින් මිරිකිලා පොඩිවෙලා ඉන්නේ.

පාසල් සෞඛ්‍ය සේවයේ ප්‍රධානියා කියනවා අවුරුදු 12 ත් 13 ත් අතර දරුවන් පාසල් යන්නේ නෑ කියලා. පක්ෂ ස්මාර්ට් කරන්න කලින් රට ස්මාට් කරන්න. දරුවන්ට අද අධ්‍යාපනයක් නෑ. අවුරුදු 12 ත් 13 ත් අතර දරුවන් කියන්නේ අධ්‍යාපනයක් ලැබීය යුතුම දරුවන්. දරුවන් පාසල් ගමන නවත්වලා ජීවත් වෙන්න රැකියා සොයාගෙන යනවා. වර්තමාන ආණ්ඩුව මේවැනි තැනකට අද රට පත් කරලා තිබෙනවා.

2048 දී ලංකාව ලෝකයේ තිබෙන හොදම රට බවට පත්කරනවා කියලා ජනාධිපතිවරයා කියනවා. නමුත් මේ රටේ ජනතාවට තිබෙන ප්‍රශ්නය තමයි තුන්වේල කන්නේ කොහොමද , විදුලි බිල ගෙවන්නේ කොහොමද කියලා. හෙට දවස ජිවත් වෙන්න බැරි කරලා 2048 ලෝකයේ හොද තැනකට ලංකාව ගෙනියන්න හදනවා. වැට් බද්ද සියයට 18 කින් වැඩි කළා. වැට් බද්ද වැඩිවීම හරහා භාණ්ඩ හා සේවා වල මිල ගණන් වැඩි වෙනවා. මේ හරහා රටේ ජනතාව ආර්ථික මට්ටමින් තවත් හිර වෙනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කෝටි ලක්ෂයක බදු එකතු කරන්න තිබෙනවා. මේ බදු එකතු කර ගන්න කිසිදු වැඩපිළිවෙලක් මේවනවිට සිදුකරලා නෑ. දුප්පත් අහිංසක ජනතාව තලලා පොඩි කරලා බදු ගහලා සල්ලි උපයන්න විතරයි ආණ්ඩුව දන්නේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කෝටි ලක්ෂයක බදු එකතු කරන්න පුලුවන් විදිහේ ස්මාර්ට් ක්‍රමවේදයක් ජනාධිපතිට නෑ. ජනාධිපතිගේ වචන වල විතරයි ඒවා තියෙන්නේ. මේ මුදල් එකතු කර ගන්න වැඩපිළිවෙලක් වහාම සකස් කරන්න.

විදුලි බල මණ්ඩලය කෝටි 229 ත් කෝටි 840 ත් අතර ප්‍රමාණයක ලාභයක් උපයලා තිබෙනවා. ලංවීම පාඩු ලබලා නෑ. මෙවැනි ලාභයක් ලබලා තිබෙන අවස්ථාවක තමයි විදුලි බිල වැඩි කරන්නේ. මේ අසාධාරණයට විරුද්ධන ජනතාව කතා කළාම ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව අත්අඩංගුවට ගන්න එක. රුපියල් 1000 ක් ගෙවන මනුස්සයාගේ විදුලි බිල කැපුවාම රුපියල් 3000 ක් ගෙවන්න ඕන නැවත විදුලිය ගන්න. රටේ දුප්පත්ම මනුස්සයාට තමයි මේ අසාධාරණය සිදු වෙන්නේ.රට හදන්න රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමක් කළ යුතුයි. අසීමිති ලෙස විදුලිබිල වැඩි කිරීමෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බෑ. විදුලි බිල වැඩිකිරීමත් සමඟ ලංකාවේ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩන් වැටිලා තිබෙනවා.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැයේ ජනතාවට යහපතක් වන කිසිදු යෝජනාවක් එයි කියලා සමගි ජනබලවේගය විදිහට අපි විශ්වාස කරන්නේ නෑ. නමුත් මොන යෝජනා ආවත් පොහොට්ටුවේ නඩය මේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙනවා. අපි අභියෝග කරනවා පොහොට්ටු කණ්ඩායමට පුලුවන්නම් අයවැයට ඡන්දය නොදී එළියට එන්න කියලා. පොහොට්ටුව කියන්නේ රටෙන් තුරන් වුණ පක්ෂයක්. පොහොට්ටුව කියන පක්ෂය දැන් භූමදානය කරලා හත් දවසේ දානයත් දීලා ඉවරයි. ඔවුන්ට කිසිසේත් නැවත නැගිටින්න බෑ.
රටට මේ වැදිලා තියෙන්නේ රාජපක්ෂලාගේ ශාපය. රනිල් වික්‍රමසිංහත් ඒ ශාපයට එකතු වෙලා තිබෙනවා. මේ හවුල පරාජය කරන්න ගෝඨාභය එලෙව්වට වඩා වැඩි පිරිසක් එළියට එනවා.


ප්‍රශ්නය – රාජ්‍ය සේවකයෝ ඉල්ලනවා රුපියල් 20,000 කින් පඩි වැඩිකරන්න කියලා. පඩි වැඩි කළොත් කුස්සියේ ප්‍රශ්නය විසදෙයිද

පිළිතුර – රාජ්‍ය සේවකයනගේ පඩිය රුපියල් 20,000 කින් වැඩි කළා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ. රුපියල් 20,000 කින් පඩි වැඩි කරනවාත් සමඟ අනිත් පැත්තෙන් වැට් බද්ද වැඩි කරලා තිබෙනවා. ඒ හරහා භාණ්ඩ වල මිල ඉහළ යනවා. රුපියල් 20,000 කින් පඩි වැඩිකළාට වැඩක් නෑ. ලක්ෂ 14 කගේ පඩිය කීයකින් හරි වැඩි කරන්න ඒ වෙනුවෙන් රටේම ජනතාවට බදු ගහනවා. ඒක සාර්ථක විසඳුමක් නෙවෙයි. රටේ පොදු ජනතාවටම විසඳුමක් ලබාදිය යුතුයි.