සමගි ජන බලවේගය ගොඩනැගුවේ ඩීල් දේශපාලනය අවසන් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

ජේ.ආර් ජයවර්ධන මහතා සමඟ සිටි කණ්ඩායම මෙන් කණ්ඩායමක් තමන් සමඟ සිටින බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත්. රාජපක්ෂවරු සමඟ රට බංකොලොත් කළ පිරිස ජේ.ආර් ජයවර්ධන සමඟ සිටි පිරිස හා සංසන්දනය කිරීමෙන් ජනාධිපතිවරයා ඒ පිරිසට සිදුකර ඇත්තේ විශාල නිග්‍රහයක් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විනාශ කළාට සහ එක්සත් ජාතික පක්ෂයේ සිටි දක්ෂ නායකයින්ට අපහාස කළාට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සාප කරන බවත් මරික්කාර් මහතා හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘‘ජේ.ආර් ජයවර්ධනට 77 හිටියා වගේ කණ්ඩායමක් තමන් සමඟ ඉන්නවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. රාජපක්ෂලා සමඟ රට බංකොලොත් කළ පිරිස ජේ.ආර් ජයවර්ධන සමඟ සිටි පිරිස හා සංසන්දනය කිරීමෙන් ජනාධිපතිවරයා ඒ පිරිසට සිදුකර ඇත්තේ විශාල නිග්‍රහයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විනාශ කළාට සහ එක්සත් ජාතික පක්ෂයේ සිටි දක්ෂ නායකයින්ට අපහාස කළාට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සාප කරනවා.

ජේ.ආර් ජයවර්ධනට 77 හිටියා වගේ කණ්ඩායමක් ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ නෙවෙයි. එවැනි දක්ෂ පිරිසක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජනබලවේගයේ. රටේ ආර්ථිකය , අධ්‍යාපනය , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය , ජාත්‍යන්තර සමඟ ගනුදෙනු කරන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජනබලවේගයේ.

සජිත් ප්‍රේමදාස කියන්නේ නියම එක්සත් ජාතික පාක්ෂ නායකයෙක්. ඔහුට රනිල් වික්‍රමසිංහ වගේ ඩීල් දේශපාලනය සිදුකරලා පුරුදු නෑ. අපි එක්සත් ජාතික පක්ෂය අත්හැරලා සමගි ජනබලවේගය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂ කල්ලිය සමඟ ඩීල් දේශපාලනය සිදුකරන නිසයි. සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂවරු හමුවුණා කියලා ආශු මාරසිංහ කියලා තිබෙනවා. එවැනි කිසිම හමුවීමක් සිදුවුණේ නෑ. පස්ස දොරොන් ගිහින් රාජපක්ෂලාගෙන් අගමැතිධූර ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා නෙවෙයි රනිල් වික්‍රමසිංහ.

රනිල් වික්‍රමසිංහ සමඟ ඉන්නේ මිනිමැරුම් , කප්පම් , දූෂණ වංචා චෝදනා තිබෙන රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට කතා කරනවා. රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවුණොත් මුදල් ලබාදෙන බවට ප්‍රකාශ කරනවා. ඔවුන් එලෙස මුදල් ලබාදෙන්නේ රටේ අහිංසක ජනතාව පීඩාවට පත් කරලා ලබාගන්න බදු මුදල් වලින්. සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් සල්ලි වලට ආත්මය පවා දෙන්න කටයුතු කරන්නේ නෑ. ඒ වගේම සමගි ජනසන්ධානයට දූෂණ වංචා චෝදනා එල්ල වුණ කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නේ නෑ”