සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සංශෝධනය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ට මේ වන විට පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා වලට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට ආරාධනා කරන්නේ, ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟත්වය ඇතිකරගත් විවිධ කරුණු වලට විපක්ෂයත් සම්බන්ධ කරගැනීමට බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එවැනි ගැට වලට සමගි ජන බලවේගය හසු නොවන බවත්ය.

ඔහු අවධාරණය කරමින් කියා සිටියේ සමගි ජන බලවේග රජයක් යටතේ වත්මන් රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමඟ එළඹ තිබෙන එකඟතා සංශෝධනය කර රටට හිතෙවාදී සහ නිෂ්පාදන ආර්ථිකයකට මුල්තැන දෙන එකඟතා ඇතිකරගන්න බවයි.

‘‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න සමගි ජනබලවේගයට ආරධනා කරලා වැඩක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ව කිහිප සැරයක්ම විපක්ෂ නායකතුමා හමුවුණා. එහිදී විපක්ෂයේ මතය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ට සෘජුව ප්‍රකාශ කරලා තිබෙනවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සංශෝධනය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ට පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟවුණ දේවල්වලට විපක්ෂයත් සම්බන්ධකරගන්න දරන උත්සහ වලට සහ එවැනි සාකච්ඡාවලට සහභාගි වෙන්නේ නෑ. ජනාධිපතිවරයාගේ ගැට වලට සමගි ජනබලවේගය අහුවෙන්නේ නෑ.‘‘