රටේ ඩොලර් ණය කන්ද වෙනුවට ඩොලර් සංචිත කන්දක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට තිබෙන බවත් එම පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ආර්ථිකයේ නිවැරදි දිශාව ගැන විපක්ෂ නායක කාර්යාලයේ අද (05) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි .

වැඩි දුරටත් පැවසූ හර්ෂ ද සිල්වා මහතා ,

“මේ අවස්ථාවේ කෙටියෙන් කාරණා තුනක් ගැන විග්‍රහ කරනවා නම් මේ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයේ වෙළෙඳපොළ ක්‍රියාදාමය සම්පූර්ණම පිළිගන්නවා. අපි විශ්වාස කරන්නේ නැහැ දේශපාලඥයෙක්ට හෝ නිලධාරියෙක්ට පුළුවන් කියලා කියන්න මේ මිලටයි මෙතන කෘෂිකර්මය ,කර්මාන්ත හෝ සේවා වෙන්න පුළුවන් නිෂ්පාදනය විය යුත්තේ සහ විකුණුම් මිල විය යුත්තේ කියන එක .

ඒකත් එක්කම වැදගත්කමක් ඇති දෙවැනි කාරණාව තමයි සුදුසු සමාජ ප්‍රතිපත්ති නිර්මාණය කරන එක එය මුදල් ,ණය ,වෙළඳ ,බදු ,ආයෝජන වැනි ප්‍රතිපත්ති වෙන්න පුළුවන් එවැනි ප්‍රතිපත්ති නිර්මාණය කරලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕන අපි කියපු වෙළෙඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඒ පසුබිම සකස් කර ගැනීම සදහා. ඊට අමතරව අපි නියාමන හැකියාවක් තියෙන්න ඕන. සියලුම දේ පාවෙන්න ඇරල අපිට කරන්න දෙයක් නෑ බැසිල් රාජපක්ෂ මැතිතුමා අනුගමනය කරන ලිබරල්වාදී ප්‍රතිපත්ති හො කලින් කෙනෙක් අනුගමනය කරපු එතැන අපි නැහැ එහිදී මේ නියාමන වැඩපිළිවෙළක් හරහා අපට පුළුවන් වෙන්න ඕන සමාජ සාධාරණත්වය ලබා දෙන්න. මේ සාධාරණ තරගකාරීත්වයක් ඇති සුභ සාධන ආර්ථිකයක් තමයි අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී ලංකාවේ ආර්ථිකය කොයි වගේ වෙයිද?. අපට තියෙන මූලික ගැටලුවක් තමයි ඩොලර් ණය කන්දක් තියෙන එක අපි නිෂ්පාදනය කරනවට වඩා පරිභෝජනය කරන නිසා ඒ පරිභෝජනය කරන්නේ වෙන රටවල් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වල් නිසා ඒවා මිලදී ගැනීමට ඩොලර් අවශ්‍ය නිසා වසරක් පාසා ඩොලර් ණය ගැනීමෙන් කන්දක් නිර්මාණය වෙලා .නමුත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩොලර් ණය කන්ද ඩොලර් සංචිත කන්දක් බවට පරිවර්තනය කරන්න ඒකයි අපේ වැඩපිළිවෙළහි driving force එක වෙන්නේ.

මිනිස්සු අපෙන් අහනවා බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න ගියාම කොහොමද බංගලාදේශයෙන් මේ විදිහට ඩොලර් සංචිත කන්දක් හැදුවේ කියලා එදා ඔවුන්ට ඩොලර් 1000ක් තිබුණේ නැහැ ජීවත් වෙන්න අද ඩොලර් බිලියන 45 ක් වෙලා. පුද්ගලයෝ අපෙන් අහනවා වියට්නාමය කොහොමද මේ වගේ ඩොලර් සංචිත කන්දක් නිර්මාණය කළේ කියලා එදා දරිද්‍රතාවයෙන් තෙරපිලා හිටපු මිනිස්සු අදත් සීඝ්‍රයෙන් සංවර්ධනය වෙලා ඔවුන්ගේ ජන ජීවිතය සුඛිතමුදිත කරමින් ඉන්නවා එය කොහොමද කරේ කියලා කට්ටිය අහනවා ඒක තමයි අපේ ආර්ථික වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්නේ අපිත් කාලයක් තිස්සේ අධ්‍යයනය කරා කබීර් ඉරාන් මම ඇතුලු අපේ විද්වත් කණ්ඩායම අධ්‍යයනය කරා නොයෙකුත් රටවල් වල කොහොමද මේ සාර්ථකත්වය ඔවුන් ලබා ගත්තේ එහිදී අපි යම් යම් එකඟතාවයන් වලට පැමිණියා ඒ හරහා තමයි අපේ මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ එහිදී මූලිකම දේ තමයි ශ්‍රී ලංකාව ලෝකෙට ඒකාබද්ධ කිරිම යැයි මන්ත්‍රීවරයා පැවසීය.”