සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් 2024.07.11 දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ ලිපිය සම්බන්ධව නැවත අවධානය යොමු කරමින් “පොලිස් නිලධාරීන් හා පොලිසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම” යන කරුණ පිළිබඳව ඉස්මතු කරමින් නැවත වතාවක් මැතිවරණ කොමිසමට ලිපියක් බාර දී තිබේ. එම ලිපිය ප්‍රකාරව සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට ප්‍රකාශ කර සිටින්නේ.

2024.07.11 දින විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවට භාරදුන් ලිපිය.

උක්ත ලිපිය අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත අප දන්වා සිටි පරිදිම ප්‍රජා පොලිස් උපදේශක කමිටු සාමාජිකයන් තවමත් ජනාධිපතිතුමා විසින් සම්පත්දායකත්වය ප්‍රධානත්වය දරමින් පවත්වන වැඩ මුළුවක් සඳහා යැයි පවසමින් දිස්ත්‍රික්ක මට්ටමින් මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම ලෙස පවත්වන වැඩ සටහන් සඳහා සංවිධානය කරමින් සිටී.

දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන මෙම වැඩසටහන් මාලාවේ ඉදිරි වැඩසටහන් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල හා ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙන බව දැනගන්නට ලැබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන 104(ආ), (ඈ) හා (උ) වන වගන්ති අමු – අමුවේ උල්ලංඝනය කරමින් පොලිසියේ සම්පත් හා නිලධාරීන් යොදා ගනිමින් සිදුකරන මෙම වැඩසටහන පිළිබඳ කඩිනම් අවධානය යොමු කොට අවශ්‍ය මැදිහත්විම සිදු කරන ලෙස දන්වා සිටිමි.

මැතිවරණ නීතිය බලාත්මක කිරීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පොලිසියටය. පොලිසිය දැන දැනම දේශපාලනීකරණය කිරීමකට ලක්වන බැවින්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි බරපතල තර්ජනයක් වේ. ඒ අනුව සියළු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන භාවිතා කොට පොලිසියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක්ව පවතින වත්මන් පොලිස්පතිවරයාගේ පත්කිරීමේ ස්වභාවය ට අනුව ඔහු කෙරෙහි වන ලබැඳියාවන් අතර බැඳියාව සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ඇතැයි සිතමි.

මේ සම්බන්ධයෙන් ඔබ ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය අප වෙත දන්වන්නේ නම් මැනවී.

මැතිවරණ කොමිෂන් සභාව