මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ (OHCHR) මහ කොමසාරිස් Volker Türk පවසන්නේ රටේ සියලුම ප්‍රජාවන්ට ප්‍රතිලාභ ගෙන දෙන දීර්ඝ කාලීන පරිවර්තනයකට රට එළැඹෙනු ඇතැයි විශාල බලාපොරොත්තුවක් වසර දෙකකට පෙර වීදී බැස හුන් ජනතාවට තිබූ බවයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව වන ජාත්‍යන්තර කවුන්සලයේ 55 වන සැසියට සිය දේශනය ඉදිරිපත් කරමින්. මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේ දී කොලොම්බියාව, ගෝතමාලාව, හොන්ඩුරාස්, නිකරගුවාව, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව යන රටවල මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන කිරීම් සිදු කරමින් Volker Türk මහතා මේ බව ප්‍රකාශ කළා.

“වසර දෙකකට පෙර, පරම්පරාවක දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වූ ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ආර්ථික අවපාලනය සහ දූෂණයට වගවීම ඉල්ලා ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනක් වීදි බැස සිටියහ. රටේ සියලුම ප්‍රජාවන්ට ප්‍රතිලාභ ගෙන දෙන දීර්ඝ කාලීන පරිවර්තනයකට රට එළැඹෙනු ඇතැයි විශාල බලාපොරොත්තුවක් තිබුණි.

මූලික අයිතිවාසිකම් සහ නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි දුරදිග යන බලපෑමක් ඇති කළ හැකි නව හෝ යෝජිත නීති හඳුන්වාදීම ගැන මම සැලකිලිමත් වෙමි.

එම නීති අතර මාර්ගගත ආරක්ෂණ පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත, සහ රාජ්‍ය නොවන සංවිධාන අධීක්‍ෂණ සහ ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත වේ. මෙම නීති විධායකය විවිධාකාරයෙන් ශක්තිමත් කර, ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබා දෙමින් සිවිල් අවකාශයට පමණක් නොව ව්‍යාපාරික පරිසරයට බලපාන එක්රැස්වීමේ, සංගමයේ සහ ප්‍රකාශනයේ නිදහසේ අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කරයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක, විශේෂයෙන් ම වඩාත්ම ආන්තික වූවන් ගැඹුරටම විඳවීම දිගටම සිදුවෙයි. දරිද්‍රතාවය පසුගිය වසරේ ඇස්තමේන්තුගත 27.9% දක්වා තවදුරටත් ඉහළ ගියේය. ආහාර, ප්‍රවාහන, සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් අඛණ්ඩව ඉහළ යන අතරම, රට පුරා සිටින කුටුම්භවලින් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවකගේ මාසික ආදායම 2022 මාර්තු මාසයේ සිට අඩු වී ඇත.

රජයේ ප්‍රයත්නයන් නොතකා, සමාජ ආරක්ෂණය පමණ ඉක්මවා දුෂ්කරව පවතින අතර, මේ වසරේ රජයේ විශාලතම අයවැය වියදම රටෙහි ණය ගෙවීම සඳහා වැය වේ. ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතීන් තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන්ගේ මූල්‍ය අවකාශය සහ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකාව දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය නිමා වී වසර 15ක් සපිරෙන්නේ මේ වසරේදීය. එහෙත් මානව හිමිකම් කඩවීම් පිළිබඳව තවමත් අවධානය යොමු වී නොමැත. අතුරුදහන් වූවන්ගේ පවුල් දස දහස් ගණනක් තවමත් තම ආදරණීයයන් සොයමින් සිටින අතර ඔවුන් සෙවීමේදී බිය ගැන්වීම්, අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙති. රටේ උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ ජීවනෝපායට බලපෑම් කරමින් ඉඩම් ආරවුල් තවදුරටත් උත්සන්න වේ. බලය බෙදීමක් පොරොන්දු වූ පළාත් සභා සහ පළාත් පාලන ආයතන වර්තමානයේ නොපවතී.

විනාශකාරී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා වින්දිතයන් තවමත් සත්‍යය සහ යුක්තිය සොයමින් සිටිති.
රජය සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා නීති කෙටුම්පතක් හඳුන්වා දී ඇති නමුත්, විශ්වසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරයක් නොමැත. සිවිල් සමාජ නියෝජිතයන් නියෝජිතවරියන්, මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් සහ වින්දිතයන් මෙන්ම යුද්ධයෙන් විපතට පත් වූවන් සැමරීමේ උත්සව සංවිධානය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මගේ කාර්යාලයට දිගින් දිගටම පැමිණිළි ලැබෙමින් පවතී.

2023 වසරේ ප්‍රධාන වශයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ බව කියන ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳ මගේ කාර්යාලයට ලැබුණු යළි යළි සිදුවන, විශ්වසනීය වාර්තා පිළිබඳව මම දැඩි අවධානයෙන් සිටිමි.

2010 දී පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබ තිබියදීත්, නව පොලිස්පතිවරයා ලෙස පත් කිරීම පසුගිය සතියේ තහවුරු විය.

මෙම සිද්ධීන් මඟින් පුළුල් ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය ඉස්මතු කරයි.
ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීමට මගේ කාර්යාලය අඛණ්ඩව කටයුතු කරයි. එය ශ්‍රී ලංකාවෙහි අපරාධ යුක්තිය පිළිබඳ විමර්ශන සිදු කරන අධිකරණ බල ප්‍රදේශ කිහිපයකට සහාය ලබා දෙමින් සිටින අතර මානව හිමිකම් සම්බන්ධ විශේෂිත සිද්ධීන් මත එහි තොරතුරු සහ සාක්ෂි පදනම ගැඹුරු කරමින් සිටී.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ පර්යේෂණ සහ වින්දිතයන් සමඟ උපදේශන පැවැත්වීම ද මගේ කාර්යාලය සිදු කර ඇත.

ප්‍රතිගාමී නීති සහ අධිකාරීවාදී ප්‍රවේශයන් මගින් ශ්‍රී ලංකාව තුළ තිරසාර සාමය සහ සංහිඳියාව ළඟා කර ගත නොහැකි වනු ඇති අතර එය අතීත මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ උත්සුකයන් චිරස්ථායී කිරීමට පමණක් උපකාරී වනු ඇත.

මෙම ප්‍රවණතාවය ආපසු හැරවීමටත්, අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කර නඩු පැවරීම සඳහා විශ්වාසනීය වගවීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මම රජයෙන් ඉල්ලා සිටිමි.

විශ්වීය සහ භෞමික අධිකරණ බලය නිසි ලෙස භාවිතා කිරීම සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස චෝදනා කරන අපරාධකරුවන්ට එරෙහිව ඉලක්කගත ක්‍රියාමාර්ග ඇතුළුව, මෙම උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කරන ලෙස මම සාමාජික රටවලින් ඉල්ලා සිටිමි.

සැබෑ සංහිඳියාව සහ තිරසාර සාමය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවන් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවට හැකි වන්නේ රටේ ගැටුම් සහ ආර්ථික අර්බුදයේ මූල හේතු විසඳීම සහ වගවීම සහතික කිරීම තුළින් පමණි” යි ඔහු සඳහන් කරනවා.