විවේචනය කිරීම, අවලාද නැගීම සහ හෙළා දැකීම – බොහෝ මෝඩයන්ට කළ හැකි නමුත් අවබෝධය සහ වැඩ කිරීම හැමෝටම කළ නොහැකි බවත් මේ අසීරු අවස්ථාවේ ප්‍රායෝගිකව රටට වැඩකොට පෙන්නන්නයි විවේචකයින් ට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවේචනය කිරීම පහසු බවත්, විවේචනය කරන්නන් වැඩ නොකරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා, නිස්කාරණේ කිසිවකුත් කරනු ලබන විවේචන වලට තමන් නොසැලෙන බව ද පැවසීය. උපනූපන් මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක  53 වැනි අදියර සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, අද(28) අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. 

“විවේචනය කිරීම, අවලාද නැගීම සහ හෙළා දැකීම – බොහෝ මෝඩයන්ට කළ හැකි නමුත් අවබෝධය සහ වැඩ කිරීම හැමෝටම කළ නොහැකි යැයි ඩේල් කානගී පවසා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, “ඔබ කරන්නේ නිවැරදි දෙය නම් කිසි විටෙකත් පැහැදිලි නොකරන්න, කිසි විටෙකත් ඉල්ලා අස්කර නොගන්න, කිසිවිටෙකත් සමාව නොයිල්ලන්න. එහෙත් ඔවුන්ට කෑගැසීමට ඉඩ දෙන්න.ඔවුන්ට කළ හැක්කේ එපමණකි” යනුවෙන් නෙලී මැක්ලං පවසා ඇතැයිද කීය.

ඉතිහාසයේ කිසි දිනක විපක්ෂයක් රටට අගයක් එකතු කළ අවස්ථා දැකිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා ඉතිහාසයේ පළමු වතාවට එය සිදු කළේ සමගි ජන බලවේගය යැයිද පැවසීය.