සාමකාමී විරෝධතාකරුවන් මර්ධනය කිරීමට සහ ආර්ථික කඩාවැටීම මධ්‍යයේ ඔවුන්ට තම දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වැළැක්වීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් හදිසි නීතිය දිගින් දිගටම භාවිතා කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  විශේෂඥයින් ඊයේ (08) නිවේදනයක් නිකුත් කර තිබිණි.  

2022 අප්‍රේල් 2 සිට  හදිසි නීතිය සම්මත කරගෙන දිගින් දිගටම එම නෛතික ප්‍රතිපාදන භාවිතා කිරීම සම්බන්ධව දැඩි අවධාරණයකින් යුතුව උක්ත නිවේදනය නිකුත් වී තිබේ. ඔවුන් අවධාරණයෙන් යුතුව  පෙන්වා දෙන්නේ  ජාත්‍යන්තර නීතිය යටතේ හදිසි අවස්ථා බලතල භාවිතා කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටි අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා නොමැති බවය..

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“පසුගිය ජුලි 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඉල්ලා අස්වී රට හැර ගියේ කොළඹ අගනුවර සහ දිවයින පුරා මාස ගණනාවක් පැවති මහජන විරෝධතා වලින් පසුවය. ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 17 වැනි දින  රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ “කරදර ඇති කරන්නන්ට” එරෙහිව දැඩි පිළිවෙතක් ගන්නා බවට ප්‍රතිඥා දෙමිනි.

එතැන් සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2022 ජූලි 27 වන දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ ආරක්ෂක හමුදාවන්ට සහ හමුදාවට පුළුල් සහ අභිමතය පරිදි බලතල ලබා දීමේ ආඥාපනත අනුමත කරීම සිදු කරඇත. එවැනි බලතල ඔවුන්ට අධිකරණ අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබා ගැනීමට සහ පෞද්ගලික දේපළ සෙවීමට ඉඩ සලසයි.

“හදිසි ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම රජයට අපගේ කනස්සල්ල යොමු කළ නමුත් ඉන් පලක් නොවීය. සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝණය කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග මෑතදී සහ අඛණ්ඩව අපයෝජනය කිරීම අපි හෙළා දකිමු,” විශේෂඥයෝ පැවසූහ.

තවද  වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ලේඛනගත කරන ලද ශ්‍රී ලංකාවේ හදිසි බලතල දීර්ඝ කාලීනව අනිසි ලෙස භාවිතා කිරීම   පිළිබඳව විශේෂඥයින් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද    එම නිවේදනයේ දැක්වේ.