සමගි ජනබලවේගය විසින් පවත්වනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයට බාධා කරන පොලිස් නිලධාරීන්ගේ තරුපටි සහ උසස්වීම් නවත්වා ගැනීමට සිදුවනු ඇති බව සමගි ජනබලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අද (16) උදෑසන කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින්.

සමගි ජනබලවේගය විසින් අද (16) දින ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක එම විරෝධතාවයට සහභාගී වන්නන්ට පොලිසිය විසින් බාධා කරන අයුරු දිවයිනේ විවිධ ස්ථාන වලින් වාර්තාවනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පවසන්නේ මෙම ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමට පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලිස්පතිවරයා ඇතුළු අදාල සියළු නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.