විදුලි බල මණ්ඩලය කොටස් 13 කට වෙන්කර එම කොටස් 13 සඳහා අධ්‍යක්ෂ මණ්ඩල 13 ක් සහ සභාපතිවරු 13 දෙනෙකු පත්කර වෙන් වෙන් වශයෙන් පරිපාලනය කිරිමට යෝජිත විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත හරහා සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ බව පැවැසීය.

විදුලි බිල අවම කිරීමට , විදුලිබල මණ්ඩලය ආශ්‍රිතව තිබෙන දූෂණ මැඩලීමට , විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන්න කිසිදු ප්‍රතිපාදනයක් විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනතේ අන්තර්ගත නොවන බවත් අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

දූෂිත ක්‍රියාදාමයන්ට සම්බන්ධ දේශීය සහ විදේශීය සමාගම් කිහිපයක් ලංකාවේ විදුලිබල පද්ධතිය තුළ සමාගම් 12 ක් ඇතිකර මන්නාරම සුළං බලාගාරය ඇතුළු ශ්‍රී ලංකාවේ වටිනා පුනර්ජනනීය බලාගාර ගොදුරු කර ගැනීමට දේශීය සහ විදේශීය සමාගම් පෙළ ගැසී සිටින බවත් ඒ අතරින් ප්‍රධාන ආයතනය වන්නේ ඉන්දියාවේ අදානි සමාගම බවත් ඒ මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත ත්‍රස්ථවිරෝධී පනත් කෙටුම්පතට සමගි ජනබලවේගය විරුද්ධ බවත් රජයට එරෙහිව ඉදිරියේදී ඇතිවීමට තිබෙන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත සහ මාර්ග මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගේන්න රජය කටයුතු කරමින් සිටින බවත් මේ පනත් ගෙන එන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හෝ පුරවැසියාගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට නොවන බවත් ජනාධිපතිවරයාගේ සහ ඇමැතිමණ්ඩලයේ පෞද්ගලික ආරක්ෂාවට සහ රජයේ තිබෙන දේශද්‍රෝහි වැඩපිළවෙල ආරක්ෂා කර ගැනීම සඳහා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් පී පෙරේරා මහතා පැවැසීය.