රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් මේ රටේ නිරායුධ ජනතාවට මිලේච්ඡ ලෙස පහර දුන් බවත් එකී පහරදීම බරපතළ ලෙස හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නව ජනාධිපතිවරයා පත් වූ සැණින් එල්ල කරන ලද මේ ප්‍රහාරය තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුව යන දිසාව යැයි පැවසූ විපක්ෂ නායකතුමා අදාල ප්‍රහාරයෙන්, නිරායුධ සිවිල් වැසියන්, මාධ්‍යවේදීන්, කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් තුවාල වූ බව ද පැවසීය.

අද(22) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ “සර්ව පාක්ෂික එකමුතුව” යන මැයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. අදාල ප්‍රහාරයේ වගකීමෙන් ජනාධිපතිවරයාට පලා යන්නට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා මේ ප්‍රහාරය සඳහා අණ දුන්නේ කවුද, සැලසුම් කලේ කවුද,ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම යුතු බවද පැවසීය.

ඩලස් අලහප්පෙරුම, එම්.සුමන්තිරන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම්, චන්දිම වීරක්කොඩි යන පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.