ආණ්ඩුව කරන හොඳ දේට හොඳයි කීමටත් වැරදි සිදු වන විට කොන්දේසි විරහිතව ඊට එරෙහිවීමටත් දෙවරක් නොසිතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඇමති වරදාන උදෙසා සිදුවන සංගීත පුටු තරගයට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා ගන්නා වූ උත්සාහයන්ට සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

දේශපාලන පලිගැනීම් පළිගැනීම් සිදු වූ බවට පවසමින් තෝරාගත් පිරිසකට පමණක් වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීමට සූදානම් වන බව පැවසූ විපක්ෂ නායකතුමා මුළු රටටම වන්දි දිය යුතු මොහොතක තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් වන්දි ලබාදීමට තමන් විරුද්ධ බව ද පැවසීය.

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය තුළ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා කීර්තියක් රැගෙන ආ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු වූ ටී.සුරංග කුමාර මහතාව ඇගයීමට ලක් කිරීම උදෙසා පන්නල වෙල්පල්ල පිහිටි ක්‍රීඩිකාව ගේ නිවසට පැමිණි විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

රටට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු දිරිගැන්වීමත්, ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ලබා දිය හැකි සියලු ශක්තිය ලබාදීමත් සිය අරමුණ බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.

නෙත්මි අහිංසා ක්‍රීඩිකාවට සහ පුහුණුකරු සුරංග කුමාර මහතාට සිය ඉදිරි කටයුතු වෙනුවෙන් විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට ද විපක්ෂ නායකතුමා කටයුතු කළේය.