ඡන්දය කල් දාන්න හොඳ නෑලු, පොලිස්පතිවරයා පත් කිරිම බරපතල ගැටලුවක්ලු කතානායකවරයා සහ අගවිනිසුරු සාකච්ඡා කර මේ ගැටලු විසඳයි කියා ආණ්ඩුව අරුම පුදුම කතා කියන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසු කාටවත් ඒ ගැන කතා කරන්න හෝ සාකච්ඡා කරන්න නොහැකි බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සටකපට උප්පරවැට්ටි තුළින් තමන්ගේ ජනාධිපතිකම රැකගන්න උත්සාහ කරන බවත් කතානායකවරයාට විනිසුරුවන් සමඟ සාකච්ඡා කිරීම සදාචාරසම්පන්න නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ උත්තරීතර නීතිය සමඟ සෙල්ලම් නොකර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයට, අගමැතිවරයාට, කතානායකවරයාට සහ කැබිනට් මණ්ඩලයට කියන බවත් ජනාධිපතිවරයා මුලින්ම ඇප බැන්දේ උප්පරවැට්ටියකට බවත් ඔහු අපේක්ෂකයෙක් නිසා පොලිස්පති පත් කරන එකට ඇගිලි ගහන්න බැහැ යැයි කිවහැකි වුවත් එවැනි දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු වගකීම් ඇති බවත් ඒවා ඔහු ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වෙන ජනාධිපතිවරයකුට එය කරන්න ඉල්ලා අස්වන ලෙස කියා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ මොනරාගල පැවැති ගොවිජන සමුළුව අමතමිනි.

අද රටේ ක්‍රියාත්මක වන්නේ සටකපට විනාශකාරී කෘර මෘග පාලනයක් බවත් මේ පාලනය තුළ ගොවියා ධිවරයා විනාශ කර ජනාතාව දුප්පත් කර මන්දපෝෂණය වැඩි කර ලක්ෂ 220 ජනතාව අනාථ කර මේ වන විට ජනතාව සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන එක වළක්වන්න ආණ්ඩුව විවිධ ඩීල් ගහන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සජිත්ට ඡන්දය දුන්නොත් ලක්ෂ 220 ජනතාව ආරක්ෂා කර හොරු අල්ලා හොරා කාපු මුදල් නැවත රටට පවරා ගන්නා නිසාත් රට බංකොලොත් කළ අයට අධිකරණය හමුවේ උත්තර බදින්නට සිදුවන නිසාත් මොවුන් බිය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ආණ්ඩුවේ ඩීල් කෙරුවාව මෙන්න

එසේ ම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිරේ ඉන්න අවස්ථාවේ ආණ්ඩුවේ අය පැමිණ විවිධ ඩීල් දැමිමට උත්සාහ කළත් ඇය ඒ කිසිදු ඩිල් එකකට හසු නොවූ බවත් කිසිදු දේශපාලන ඩීල් එකකට හසු නොවී ඇය නීතියට ගරු කළ බවත් මේ වන විට ආණ්ඩුව ඇතුළේ විවිධ මුදල් ගනුදෙනු ඩීල් යන බවත් මේ ඩීල් යන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නොව ආණ්ඩුවේ බලය පවත්වා ගැනීමට බවත් සමගි ජන බලවේගය මෙවැනි ඩීල් කිසිවක් නොදමන බවත් ජනතාවගේ කැමැත්තට සෑම අවස්ථාවකම හිස නමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් දරු පරපුර, ගම නගරය ගැන සිතා පරමාදර්ශී නායකත්වයක් රටට පත් කර ගන්නා ලෙස කියා සිටින බවත් මේ රට දියුනු කරන්නට වැඩිම කැපවීමක් කරන නායකයා යන විරුදාවලිය තමා දිනා ගන්නා බවත් ඒ සඳහා හයිය සහ අනුග්‍රහය අපේක්ෂා කරන බවත් පක්ෂ ආගම් ජාති කුලමල පන්ති භේද නොසලකා තමා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය.