රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වැයුවක් මෙන් ලංකාවම ආණ්ඩු විරෝධයෙන් උණුසුම්ව තිබියදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය අටවෙනිදා අනුරාධපුර වන්දනාවක යෙදුනේය. චීවරයක් දකිනා තැනක් පාසා කට පුරා අපේ හාමුදුරුවනේ කියා අමතන සැබෑ බෞද්ධ නායකයෙකුගේ වෙසින් පෙනී සිටි මහින්ද රාජපක්ෂ අනුරාධපුරයට ගොස් අටමස්ථානය වැඳ පුදාගෙන පැමිණ දිනක් යන්නට ප්‍රථම ඔහු ඇතුලේ සැඟව සිටි ලේ පිපාසිත ඒකාධිපතියා රටට නොව ලෝකයටම පෙනුනේය. ඒ ගාලුමුවදොර සාමකාමී අරගලයේ යෙදුන තරුණ තරුණියන්ට මැරයන් ලවා නින්දිත ආකාරයෙන් පහර දීමෙනි.
රාජ්‍ය නායකයෙකු තබා කුළී මැරයෙක්වත් නොකරන ආකාරයේ නින්දිත පහර දීමකට මහින්ද රාජපක්ෂ යොදාගත්තේ රට පුරා විසිරී තිබෙන පළාත් පාලන ආයතන වල නියෝජිතයන් සහ තම ඒකාධිපති ජුන්ටාව ශක්තිමත් කරන්නට සැදී පැහැදී සිටිනා පාතාල මැරයන්ය. ඊට අමතරව වටරැක බන්ධනාගාරයේ රැඳවූවන්ද මේ නිර්ලැජ්ජිත ප්‍රහාරයට යොදවා ගත් බව දැන් දැන් තහවුරු වෙමින් පවතී. පුදුමය වන්නේ මේ මැර හමුදාව මුලින්ම පැමිනෙන්නේ අරලියගහ මන්දිරයට වීමය. එහිදී අගමැති වරයා හමුවී සුහද කථා බහක යෙදෙනා මැරයෝ මුලින්ම පහර දෙන්නේ අරලියගහ මන්දිරය ඉදිරිපිට වූ මයිනාගෝ ගමටය. එහි වූ නිරායුධ තරුණයන් මැදට කඩා පනිනා ලද රාජපක්ෂ මැරයෝ පොලු මුගුරුවකින් ඔවුනට පහර දී කූඩාරම් ආදිය ගිනිතබා විනාශ කරන ලදි.
ඉන් අනතුරුව ගෝටාගෝ ගමට යන මැර පිරිස එහි සාමකාමීව උද්ඝෝෂණයේ නියුතු වූවන්ටද පහර දෙන ලදි. හරියටම මාසයක් ජනාධිපති ලේකම් කාර්යාලය වටකරගෙන සිටි ගෝටාගෝ ගම උද්ඝෝෂකයෝ කඩදාසි කැබැල්ලක්වත් එකී පරිශ්‍රයට වීසි කළේ නැත. එකදු වාහනයකටවත් ගල් කැටයකින් ගැසුවේ නැත. විරෝධතා බිමේ අරගල කරුවෝ ගීත ගයමින් නාට්‍ය බලමින් පොත් පත් කියවමින් සාකච්චා පවත්වමින් අරගල කරන්නට වූහ. ජන පීඩක ආණ්ඩුවකට මෙතරම් සාමකාමී විරෝධයක් දැක්වූ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ සොයාගැනීමට නොහැකි බව පැවසිය හැක.
මෙකී ප්රශස්ත මට්ටම නිසා විරෝධතා බිමට සරසවි සිසූහු, වෛද්‍යවරු, නීතීඥයන්, පරිපලන නිළධාරීන්, පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ ගනනින් එක්වූහ. වෙනදා මෙවැනි විරෝධතා නොරිස්සු පෞද්ගලික අංශයේ සමාගම් හිමියෝ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණ බිමට රොක් වූහ. විරෝධතා කරුවන්ට අවශ්‍ය ආහාර පාන, කූඩාරම්, ශබ්ද විකාශන යන්ත්‍ර වැනි සියළුදේ සපයනු ලබුවේ මෙලෙස එක් රැස්වූ ජනතාව විසින්. එහෙයින් ගෝටාගෝ ගම අරගලය මෙරට සැබෑ පොදුජන නියෝජනයක් සහිත අරගලයක් බවට පත්විය. පසුගිය 9 වෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ විසින් කොළඹට කැඳවූ පාතාල මැරයන් පොදුජනයාගේ එකී විරෝධයට පහර දෙන්නේය.
අරලියගහ මන්දිරයේ සිට ගාලූ මුවදොරට කඩාවැදුන මැර කන්ඩායම් නතර කරන්නට පොලිසියට හෝ හමුදවට කිසිදු උවමනාවක් නොතිබුන බව පැහැදිළිවම දැක ගත හැකි විය. පොලිස් නිළධාරීන් බලා සිටියදී ප්‍රහාරයට එක්වූ පොදුජන පෙරමුණු මැරයෝ සාමකාමීව උද්ඝෝෂනයේ යෙදුන තරුණයන්ට සිත්සේ පහර දුන්හ. මේ මැර පිරිස අතර ආණ්ඩුවට ඉතා හිතවත් ආයුධ ජාවාරමෙන් කෝටිපතියෙකු ව්‍යාපාරිකයෙකුගේ මැරයන් පිරිසක්ද බන්ධනාගාරයෙන් අනීතිකව මුදාහළ රැඳවූවන්ද වූ බව දැන් හෙළි වෙමින් පවතී.
සැබැවින්ම මේ මැර පිරිස ගාලූ මුවදොරදී හැසිරුනේ අතිශ්‍ය අමානුෂික ආකාරයෙනි. අරගල කරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පවත්වාගෙන ගිය රතු කුරුස ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටවා තිබූ කූඩාරම ඔවුන් විසින් ගිනිබත් කරන ලදි. මනුෂ්‍ය සංහතියටම ද්‍රෝහීවූ ලේ පිපාසිතයෙකු ලෙස අදටත් ලෝකය සලකන ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජන ඝාතක නාසි හමුදාව පවා රතු කුරුසයක් තිබූ තැනකට පහර දුන්නේ නැත. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමික පොහොට්ටු මැරයෝ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදාවන් ඉක්මවා ගිය කෲරතර ජන පීඩකයන් කොටසක් බව ලෝකයට සනාත කරමින් ඕවුහු රතු කුරුස ප්‍රතිකාර මධ්‍යස්ථානය ගිනි තබා පොළවට සමතලා කළහ.
ගාලූමුවදොර අරගල කරනා සහෝදර සහෝදරියන්ට ආණ්ඩුවේ මැරයන් පහර දෙන බව ආරංචි වූ සැනින් කොළඹ සහ අවට ජනයා අතට අසුවෙන දේ රැගෙන ගාලූ මුව දොරට එක් රැස් වූහ . සමහරුන් රැගෙන ආවේ ගෙදර ඇඳේ ඇඳ පොලුය. පොහොට්ටු මැරයන්ට යන එන මං නැතිවෙන තැනට වැඩ සිද්ධවූයේ ඉන් පසුවය. මැරයන්ගේ ආයුධ උදුරා උන්ටම පහර දෙන්නට පටන්ගත් ජනතාව රාකපක්ෂලාගේ කුළී මැරයනට අමතක නොවන පාඩමක් ඉගැන්වූහ. ජනතාවට ද්‍රෝහී වෙමින් ජන පිඩක රාජපක්ෂ රෙජිමයට කඬේ ගිය මහින්ද කහඳගම වැනි නාගරික කප්පම් කරුවන්ටද, වසන්තා හඳපාංගොඩ වැනි ඊනියා වෘතීය සමිති ක්‍රියා කාරිකයන්ටද ජනතාව පහර දුන්නේ රෙදි ගලවාය. ඉන්ද නොනැවතී අරලියගහ මන්දිරයට මැරයන් ගෙන ආ බස් රථ සහ ඒවායේ පැමිණි පිරිස් හඹාගොස් පහර දෙනු ලැබීය. රට පුරා ආණ්ඩුවේ මැති ඇමැත්තන්ගේ ගේ දොර ගිනිබත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්, ප්‍රාදේශීය සභා සභාපති වරයෙක් ඇතුළු අට දෙනෙකුගේ ජීවිත විනාශ විය. මේ සියල්ල සිදුවූවේ අගමැති මහින්ද සිය
බල තන්හාව සංසිඳවාගනුවස් පොහොට්ටුවේ පාතාල මැරයන් අරලිය ගහ මන්දිරයට කැඳවීම නිසාය.
පසුගිය අටවෙනිදා අනුරාධපුර වන්දනාවේ ගිය අගමැති උපාසකයාගේ සැබෑ සවරූපය ඊට පසු දින ලෝකයටම හෙළි විය. දෙකෝටියකට වැඩි ජනතාවකගේ ජීවිත ඇපයට ගෙන ජාතික ආර්ථිකය නැති භංගස්ථාන කොට රටක් බංකොලොත් කර දැමූ රාජපක්ෂ වරුනගේ දේශපාලනය නිමාවූයේ රටම ගිනි බත් කරමිනි. ජන පීඩක ආණ්ඩුවේ අගමැති අවසනයේ ගෙදර ගියේ වරක් මූනිච්චාවට ඔහු සිපගත් මහ පොළවම උලාකමෙන් අනතුරුවය. මේ වන විට රාජපක්ෂ වරු ඉතිහාසයේ කුණු කූඩයට වැටී අවසන්ය. මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනවා දඬුවම් කිරීම ඊළඟට පත්වෙන ආණ්ඩුවේ වගකීමය. මන්දයත් පසුගිය 9 වෙනිදා සිදුවූ ඒ මහා විනාශයට සෘජුවම වග කිව යුත්තේ ඔහු බැවිනි.
ජීවක ජයසිංහ