මේ වන විට අප රට බංකොලොත් වී අමාරු තැනක ඇති බවත් බංකොලොත්භාවය යනු ණය ගෙවා ගත නොහැකි වීම බවත් ද්වීපාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ බැදුම්කර යනාදී ණය වර්ගවල නැවත වරක් ණය ගෙවීමේ පහසුව ලැබෙන කොට, එම ණය ගෙවාගෙන යන ක්‍රමවේදය සකස් වන විට එය දැක ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගම් (Fitch, Moody’s, සහ standard and poor’s) අප රට ණය ගෙවීමේ ක්‍රමවේදයකට ප්‍රවේශ වී ඇති නිසා එම මූල්‍ය දත්ත උපයෝගී කර ගෙන රට බංකොලොත්ද නැද්ද යනුවෙන් ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විභාගයකට පෙනී සිටිය පසු එහි ප්‍රතිඵල නිකුත් කරන්නේ අදාළ අපේක්ෂකයන් නොව විභාග දෙපාර්තමේන්තුව බවත් ඒ ආකාරයට අප රටේ පාලකයන්ට අප බංකොලොත් ද නැද්ද කියා තීන්දු කළ නොහැකි බවත් එය තීන්දු කරන්නේ රටේ මූල්‍ය හැකියාව මත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සිදු කරන ආයතන ගන්නා තීන්දු තීරණ මත බවත් තවමත් සමහර ශ්‍රේණිගත කිරීම් අනුව අප රට එම තත්ත්වයන්ට පැමිණ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ පරිහානියට එක් හේතුවක් වන්නේ ජනතාව රැවටිම, මංමුලා කිරිම හා ඇන්දවීම බැවින් බංකොලොත් රටේ ජනතාව තොරතුරු හා දත්ත ගැන අවදානයෙන් සිටිය යුතු බවත් බංකොලොත් ද නැද්ද යනුවෙන් තීරණය කරන්නේ නියමිත ප්‍රමිතියකට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවත් රටේ ප්‍රධාන මූල්‍ය ආයතනවලින් බංකොලොත් වුණේ නැහැ, බංකොලොත්භාවයෙන් මිදුනා වැනි පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කිරීම රටකට අහිතකර තත්ත්වයක් බවත් එය ජනතාව රැවටීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (ජුනි 24) කළුතර සෙන් ජෝන්ස් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 256 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පළාත් මට්ටමින් අනුශූරතාව දිනාගත් පාසලේ නර්තන කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

දැන්වත් ජනතාව රැවැට්ටුවා ඇති

මෙවැනි රැවටීම්වලට රටත් ජනතාවත් යොමු නොකළ යුතු බවත් පුරවැසියන්ට සත්‍ය දැන ගැනීමේ අයිතියක් ඇති බවත් සත්‍ය කරුණු දත්ත දැන ගැනීම තුළ පමණක් රටට ගොඩ ආ හැකි බවත් ඇන්දවීම්වලින් බොරුවෙන් වංචාවෙන් මුසාවෙන් මුලාවෙන් තොරව සත්‍ය දත්ත මත පදනම්ව උසස් රාජ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටට අවාසි ගිවිසුම්වලට යාමම දේශදේ‍රා්හී ක්‍රියාවක්

අප්‍රිකාවේ ඝානා යන රට, එම රටට තිබූ විදේශ ණය කප්පාදු වන එම රටට වාසිදායක වැඩසටහනකට ප්‍රවේශ වූ බවත් අප රටත් සිදු කළ යුත්තේ අප රටට ලබා ගත යුතු ණය සහනය ලබා ගැනීම මිස තනි පුද්ගලයකුගේ හෝ කණ්ඩායමට පෞද්ගලික ඕනෑ එපාකම් මත පුද්ගලයන්ට හෝ කණ්ඩාම්වලට වාසිවන ගිවිසුම්වලට ගොස් රටට ගන්න තිබු වාසිය අහිමි කර ගැනීම දේශදේ‍රා්හී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල හා හුස්ම කියන්නේ අසම්මත වැඩසටහන් දෙකක්

රටේ රටාව දිහා බලනවිට සක්වල හා හුස්ම යනු සම්මත නොව අසම්මත වැඩසටහනක් බවත් නුහුරු නුපුරුදු වැඩසටහනක් බවත් බොහෝ දෙනෙක් වැඩක් කරන්න බලයක් තනතුරක් රාජ්‍ය අනුග්‍රහයක් තිබිය යුතු යැයි සිතුවත් බලයක් නොමැතිව වැඩක් කළ පළමු අවස්ථාව මෙය බවත් මෙය ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට සක්වල හා හුස්ම ඇලජික්

මේ රටේ නුපුරුදු නොදුටු සම්ප්‍රදානුකූල නොවන නව වැඩක් වන විට සමහර අය මේවා දෙස බලා තිගැස්සෙන බවත් සමගි ජන බලවේගය අසම්මත ලෙස බලයක් නොමැතිව වැඩක් කරන බවත් ඒ වැඩ කිරීම තුළ වැඩක් නොකරන අයට තැනක් ස්ථාවරයක් නොමැති වේද කියා බිය සැක සාංකා පළ වෙන බවට පෙනෙන්නට ඇති බවත් මොවුන් මේ වැඩසටහන් මර්දනකාරී, දාමරික හා සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා ගැන වැරදි විදිහට නොසිතා බංකොලොත් රටේ සුළු අධි පොහොසතුන් හැර සෙසු අය අන්ත අසරණ වී උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට ලක්ව ඇති මොහොතක, ජීවනෝපාය රැකියාව අහිමි වී ඇති මොහොතක, දුප්පත්කම වර්ධනය වන මොහොතක අප කළ යුත්තේ යමෙක් රටට වැඩක් කරන විට ඒ දිහා කුහකකමින් ඊර්ෂයාවෙන් බලන්නේ නැතිව ඊටත් වඩා හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කිරීම බවත් අවසානයේ බලයක් නොමැති හැමෝම තරගයට වැඩක් කළොත් එහි සෙත සැලසෙන්නේ ලක්ෂ 220ක් ජනතාවට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 256ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2779ක් වැය කර තිබේ.