මේ වැටී ඇති රට ගොඩගන්නට නම් රටට ඩොලර් අවශ්‍ය බවත් ඒ උදෙසා ශක්තිමත්, තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ආණ්ඩුවේ ඇතැමුන් ලෝකෙ වටා සංචාරය කොට ඩොලර් ඉල්ලා සිටියත් ඒවා නොලැබෙන්නේ විශ්වාසය නැති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (05) පැවසීය.

රටට ඩොලර් ගෙන ආහැකි කණ්ඩායම සමගි ජන බලවේගයේ සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,වසර 74 ක ඉතිහාසය තුල කිසිදු විපක්ෂ ඉටු නොකළ අන්දමේ මෙහෙවරක් ඉටුකිරීමට සමගි ජන බලවේගය සමත් වීමෙන්ම  තමන් තුළ රට ගොඩනැගීමට ඇති හැඟීම පැහැදිලි වන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

කයිවාරුවලින් හෝ විවේචනවලින් රට ගොඩනැඟිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ පාසල් පද්ධතිය ශක්තිමත් කොට අධ්‍යාපනය ඉහළ නැංවීම උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ගයක පියවරක් වන පාසල්වලට බස්රථ ලබාදීම පවා විවේචනය කරන මට්ටමට ඇතැම් බංකොලොත් කණ්ඩායම් පහළට වැටී ඇතැයිද පැවසීය.

 තම කණ්ඩායමේ ඒකායන අරමුණ වන්නේ #SriLankaFirst සංකල්පය තුළින් ලොව අංක එකේ රටක් බවට අපේ රට පත්කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා, කයිවාරු කාරයින්ගේ රැවටිලි වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

සක්වල වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක 64 වන බස් රථය ලෙස රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් මොරවක කීර්ති අබේවික්‍රම විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.