මවාගත් සිහින මත ඉදිරිපත් කර ඇති 2022 අය වැය මගින් එහි පරතරය දළ දේශී නිශ්පාදිතයෙන් 8.8% ක් වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා තක්සේරු කර තිබේ. එහෙත් අය වැය හා මූල්‍ය විනය සම්බන්ධයෙන් පනවා තිබෙන 2003 වසරේ මූල්‍ය වගකීම් පනත අනුව අය වැය පරතරය ද.දේ.නි යෙන් 5 % නොඉක්ම වියයුතුයි. ඊට වැඩි පරතරයක් සහිත අය වැයක් ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම නීති විරෝධී බැවින් එවන් නීති විරෝධී පනතකට රජය අනුමැතිය ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කරනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.


මේක නීති විරෝධීයි,. මේ නීති උල්ලංඝනය කිරීමට, අවසර දෙන්න කියලද , මේ නීති හදන, උත්තරීතර සභාවෙන්, ඉල්ලන්නේ?. රටට සහ ජනතාවට ද්‍රෝහී වෙලා, මේ බොරුවට අත උස්සන්න කියලද කියන්නේ ? යැයි අය වැය දෙවන වර කියවීමේ විවාදයේ අද (17) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.


මෙහිදී වැඩිදුරටත් කථා කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙසේ ද කීය.


අය වැය ලේඛණය දිහා බලන විට රජය මවාගත් සිහින මත අධි තක්සේරුවෙන් යුතුව හුදු සංඛ්‍යාලේඛන ඉදිර්පත් කර ඇත. මේ ආණ්ඩුව යන්නේ, රිවර්ස් එකට. 2021 වෙනුවෙන් මේ ආණ්ඩුව ආදායම තක්සේරු කර තිබුණේ රුපියල් බිලියන 2029 කට. නමුත් ලැබුණේ රුපියල් බිලියන 1561 යි. බිලියන 500ක අඩුවක් තියෙනවා. අද වෙනකොට 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2284ක් යැයි පුරෝකථනය කරලා තිබෙනවා. ඒ කියන්නේ, රුපියල් බිලියන 800 ක ආදායම් එක පාරටම වැඩි කරගන්නවා කියලද කියන්නේ.

ව්‍යාපාරයක් කරන කෙනෙක් දන්නවා වසරකින් ආදායමක් 45 % කින් වැඩි කරන්න බැරි බව. එය උපරිමය 10 % හෝ 12 % කින් වැඩි කිරීම යතාර්තයක් වනු ඇත. කාවද මේ රවට්ටන්න යන්නේ.? මෙයාලා හැමදාම බොරු කියලා, මේ සභාවයි , ජනතාවයි රවට්ටනවා. එහෙනම් මේ, දවල් හීන නේද, ආදායම් පුරෝකථන විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ ? ඇත්තටම මේ ජනතාව රැවට්ටීමක් නෙවෙයිද ?

අපි 2014 බලය ගන්න කොට, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට, 10%ක් තිබුනේ. අපි ඒක ක්‍රමානුකුලව 13%ක් කළා. ඒක බොහොම සැලසුම් සහගතව කරපු දෙයක්. මෙහිදී මම දිවංගත මංගල සමරවීර මහතාව සිහිපත් කළ යුතුයි. එතුමා ක්‍රමිකව හා සැලසුම් සහිතව රාජ්‍ය ආදායම් වැඩි කරන සැලසුම් හදා ක්‍රියාත්මක කළා.පිළිවෙලකට කරපු දෙයක්. දැක්මක් වැඩපිළිවෙලක් අපිට තිබුණා.

මේ ආණ්ඩුව බලය ගන්න පෙර, නිතර මතුරපු බොරුවක් තිබුණා. ඒ තමයි, අපේ ආණ්ඩුව හැම දේටම බදු ගහලා, බදු වලින් දුවන, ආණ්ඩුවක් බව. මේ ඊනියා සටන් පාඨ වල නිර්මාතෘ, 2019 ගෝඨාභය රාජපක්ෂගේ, මැතිවරණ මෙහෙයුමේ ප්‍රධානියා තමයි, බැසිල් රාජපක්ෂ.

මගේ මීළඟ අවධානය, රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම ගැන යොමු කරන්න කැමතියි. 2022 ට අදාළව අයවැය ලේඛනය තුළ බදු හරහා ආදායම් ඉහළ නංවා ගැනීමේ උත්සාහයක් තියෙනවා.

“ පසුගිය වසර තුළ රු.මි. 2,000 ට වඩා බදු අය කළ හැකි ආදායම් ලත් සමාගම් හෝ පුද්ගලයන්ගෙන් එක වරක් පමණක් අය කරන 25 % ක අධි හ්භාර බද්දක් අය කරන්න යෝජනා කර තිබෙන අතර ඊළඟට, වැට් බද්ද වැඩි කරලා. 2.5 % සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කර ගැනීමටත් යෝජනා කර තිබෙනවා.”

අතීතයේ ලැබූ ආදායමකට බදු අය කළ හැකි දැයි යන්න නීතිමය ප්‍රශ්නයක් ද මතුවෙනවා.” දැයි හෙතෙම ප්‍රශ්ණ කළේය
පිරිවැටුම් එක මත බදු පැනවීම. මොකක්ද මේ අය කරන්න යන්නේ, රටේ මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාවෙන් නේද, මේ හූරලා ගන්න හදන්නේ ? මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඔලුව උස්සන්න එපාද ? මේකටද නිෂ්පාදන අයවැයක් කියන්නේ ? ඇත්තටම මේක මහා ඛේදවාචකයක්.

ඇත්තටම බදු ගන්න එකේ නෙවෙයි ප්‍රශ්නය. සමාජ සාධාරණත්වය රැකගන්න, බදු නිසි ලෙස අයකරන්න ඕන. ඒ ගැන වාදයක් නෑ. නමුත් නිසි නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මෙලෝ හසරක් නොදන්න අය, වැඩ කරන්න ගියාම, බදු ගෙවනවා තියා, කිසිම ආයෝජකයෙක් මේ පැත්ත හැරිලාවත් බලන එකක් නෑ.


අද හම්බ කරන්න අවස්ථාව තියෙන්නේ, රාජපක්ෂ පවුල සහ පවුලේ ගජමිතුරන්ට විතරද ,?
අපි නම් මේවට පුදුම වෙන්නේ නෑ. මතකයි නේද , සීට් එකක් වෙන් කරගන්න බැරි වෙලා, රාජපක්ෂ උදහස නිසා , බිලියන ගණන් ලාභ ලබපු, ගුවන් සේවය, 2008 දී, එමිරේට්ස් ආයෝජකයන්ගෙන් මහින්ද රාජපක්ෂ පාලනය නැවත පවර ගත්තා. හැබැයි රටට කිව්වේ, විකුණපු ජාතික සම්පත් යළිත්, පවර ගන්නවා කියලා. නමුත් 2021 වෙනකොට මොකද, ගුවන් සේවයට වෙලා තියෙන්නේ, දැන් රුපියල් බිලියන 250ක් හෝ ඊට ආසන්න මුදලක් පාඩු ලබලා. බලන්න, දැන් මේ පාඩුව ගෙවන්නේ, මැදමුලනේ වලව්වේ කාබනික ගොවිතැනින්ද ? නැත්නම් රාජපක්ෂ පවුලේ මොකක් හරි ව්‍යාපාරයකින්ද ? නෑ. කවදාවත් මේ ගුවන් යානයකට පය තබලාවත් නැති, අහිංසක ජනතාව, තමයි මේවට වන්දි ගෙවන්නේ.

නීතියේ ආධිපත්‍යයක් රටකට අවශ්‍යයි.
එමිරේට්ස්ලට වුණ දේ දැක්ක, එක ආයෝජකයෙක්වත් මේ රටට එයිද ? ඉතින් කොහොමද රටේ ආදායම් වැඩි වෙන්නේ ? දැන් ලොකුවට හිතාගෙන පම්පෝරි කතා කිව්වට , බදු ප්‍රතිපත්තිය, මේ වගේ පැටලලි සහගත නම්, අවුල් නම්, පොර්ට් සිටිය ගැනත් සිහින දකින්නේ බලාගෙනයි. ආයෝජකයන්, ආයෝජනයක් කරන්න කලින්, සලකා බලන කාරනා තියෙනවා.
හැමෝම කොමිස් දීලා එන්නේ නෑ. සාමාන්‍යයෙන් ආයෝජකයන්, අදාළ රට ගැන විශ්වාසයක් හදාගන්න ඕන. මිත්‍රශීලී විදෙස් ප්‍රතිපත්තියක ඉන්න ඕන, නීතියේ ආධිපත්‍ය ගැන තහවුරුවක් තියෙන්න ඕන, මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන වගේම, ඒ රට දේශීය ව්‍යාපාරිකයාට සලකන ආකාරය ගැනත්, ආයෝජකයන් සැලකිලිමත් වෙනවා. හැබැයි මේ අයවැයේ, මේ කිසිම දෙයක් ගැන අවධානයක් නෑ. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තුළත් මේ වටිනාකම් (values) වලට ඉඩක් නෑ.
ආයෝජකයන් ගැන කියන නිසා මතක් වුනා. ඔබට මතක ඇති පසුගිය ආණ්ඩු සමයේ මේ අය ආයෝජකයන්ට තර්ජනය කළා, ආයෝජනය කරන්න එපා, එයාලා බලයට ආවහම සියල්ල යලි පවරා ගන්නවා කියලා. ඔන්න විපක්ෂය කාලේ හැසිරීම.
ඒ වගේම තමයි, EAP මාධ්‍ය ජාලයේ, ආයෝජනය කරපු, සුභාෂ්කරන් අලිරාජා මහතා සම්බන්ධයෙන් දක්වපු විරෝධය. එදා ඒකාබද්ධ විපක්ෂය කිව්වේ, අපි කොටියෙකුට රටේ සංඛ්‍යාත දුන්නා කියලා,.. හැබැයි එදා විපක්ෂයේ මහත්වරු එහෙම කිව්වට, අද අපි ඒක කියන්නේ නෑ , සුභාෂ්කරන් අලිරාජා මහතා, මේ ළඟදී VIP පර්යන්තයෙන් , රටට ගෙන්වාගෙන ඉහල පෙලේ සාකච්ඡා පැවැත්තුවා. ගුවන් හමුදාවේ, හෙලිකොප්ටර් හරහා ගමන් පහසුකම් දුන්නා.
අපි කියන්නේ ඔහු ආයෝජකයෙක්. ඒ වගේ ආයෝජන දහස් ගණනින්, රට හදන්න ඕන කියලයි අපි කියන්නේ. ඩයස්පෝරා කියලා, ජාතිවාදය අවුස්සන ප්‍රතිපත්තියක් අපට නෑ. මතක තියාගන්න , ඩයස්පෝරාව කියන්නේ වත්කමක්. අපි ඒක වගකීමෙන් කියනවා. ජන්ද ගන්න, ජාතිවාදය අවුස්සන, පහත් දේශපාලනය තමයි හැමදාම මේ රට අගාධයට පත්කළේ.

ජාතිවාදී ආගම්වාදී ඊනියා ප්‍රචාර නවත්වන්න
හැම වරදකටම අවසානයක් තියෙන්න ඕන. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා , තව දුරටත් පටු ජාතිවාදී, ආගම්වාදී, ඊනියා ප්‍රචාර හරහා, ජනතාව නොමග යවන්න එපා කියලා.

අපේ විදෙස් ප්‍රතිපත්තිය අන්තයටම දුර්වල වෙලා. මානව හිමිකම් සම්බන්ධව කතා කරන්නම දෙයක් නෑ. අපනයන වෙළඳපොල අවස්ථා ඇහිරීමේ අවදානම යලිත් මතුවෙලා තිබෙනවා. යුරෝපා GSP plus සහනය, ඇමරිකානු GSP සහනය අපිට අතිශය වැදගත්. විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග තමයි අපේ අපනයන වෙළඳපොලේ විශාලම පංගුව. මේ හරහා තමයි රටට ඩොලර් අදායම ලැබෙන්නේ. එය අවදානමේ දමා ගන්න එපා කියන ඉල්ලීම, මේ අවස්ථාවේ කරන්න ඕන. මොකද ඔය GSP plus සහනය 2014 ට පෙර රාජපක්ෂ පාලනය නැතිකර ගත්තා. අපි බොහොම අමාරුවෙන් එය නැවත ලබාගත්තේ.
මොකද අපනයන ක්ෂේත්‍රයේ මේ තියන ප්‍රමාණයත් නැති වුණොත්, මේ රටට අත්වන ආර්ථික ව්‍යසනය සුළුපටු නෑ. ඒ වගේම කියන්න ඕන පුනර්ජනනීය බලශක්තිය 70%ක් කරන්න යෝජනා දාලා තියනවා. නමුත් ප්‍රතිපාදන නෑ.. ඒකත් අර කාබනික වගා වන්දිය වගේ. අස්වනු අඩු වුණොත් වන්දි දෙනවා කිව්වට, ප්‍රතිපාදන නෑ. ජනගහනයෙන් 52%ක් වන කාන්තාව ගැන මේ අයවැයේ මොනවද තියෙන්නේ ? කාන්තාවන් සඳහා කැබිනට් අමාත්‍යාංශයක්වත් මේ රජය යටතේ නැහැ.ආරක්ෂක අමාත්‍යංශයට නම් ප්‍රතිපාදන වැඩි කරගෙන. සුපුරුදු විදියටම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර අයවැය ලස්සනට බෙදාගෙන.

එක රටක් එක නීතියක් කියලා බලය ගත්ත ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරන හැටි ඊයේ, ඒ කියන්නේ නොවැම්බර් 16 වෙනිදා රටම දැක්කා. A guilty conscience needs no accuser — වැරදි හෘද සාක්ෂියකට චෝදකයකු අවශ්‍ය නෑ. එක රටක් එක නීතියක් කිව්වට, මේ රටේ නැත්තෙම ඒක. නොමිලේ පොහොර දෙනවා කියලා, දැන් බෙහෙතකටවත් පොහොර නැති කරලා. ගෑස් නෑ. සිමෙන්ති නෑ. සපුගස්කන්ද ඉතිහාසයේ පළමු වතාවට වහලා. බොරතෙල් ගේන්න විදිහක් නැතුව. ඔමානයෙන් ණයක් ලැබෙනවා කිව්වා. කෝ, ණය ලැබුණද ? බඩු මිල අහස උසට. මිනිසුන්ගේ ආදායම් ගල් ගැහිලා. නැත්නම් රිවර්ස් වෙලා. හැබැයි වියදම් ඉහළ ගිහින්.
නමුත් මතක තියාගන්න, 69 ලක්ෂයක ජනතා ප්‍රසාදය , ගතවෙන මොහොතක් ගානේ, ක්ෂය වෙමින් පවතිනවා. ආණ්ඩුව ඇතුලෙ පවා අසහනය දෝරේ ගලනවා. 2022 අයවැය සම්බන්ධව අපේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ. මේ අයවැය ආණ්ඩුවේ අසමත් බව තහවුරු කරන නිල ලේඛණයක් පමණයි. මෙයින් රටට, ජනතාවට ලැබෙන සෙතක් නෑ. මේ වසරට වඩා ලබන වසරේ බරපතළ ආර්ථික පීඩාවන්ට මුහුණදෙන්න, ජනතාවට සිද්ධ වෙනවා.
හැබැයි අපි ජනතාවට ස්ථිර පොරොන්දුවක් දෙනවා. මේක වාසනාවන්ත රටක්. මේ අවුරුදු 5ට, රාජපක්ෂ පවුල් පාලනය මොනවා කළත්, ලැබෙන පලවෙනි අවස්ථාවේ, අපි නිවැරදි දැක්මක් සහ වැඩපිළිවෙලක් සහිතව, මතු පරම්පරාව වෙනුවෙන්, මේ රට ගොඩනැගීමේ අභියෝගය සහ වගකීම ගන්න සූදානම්. ඒ විශ්වාසය සහ හැකියාව අපිට තියෙනවා යැයි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

2021.11.17