පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ආරම්භ කරයි.

ඊයේ දින (29) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, නීතිඥ වසන්න යාපාබණ්ඩාර, සුජිත් සන්ජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් Nay Pyi Taw නෙපිටෝ නුවර පිහිටා ඇති එරට විදේශ අමාත්‍යාංශයේ දී උදෑසන 11.30 ට සාකච්ඡා ආරම්භ කළේය. ඒ සඳහා මියන්මාර අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ය H.E.U. Than Swe මැතිතුමා ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂයෙන් මේ පිරිස බේරාදීමට අදාල රාජතාන්ත්‍රික කටයුතු කර දෙන මෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද භාරදෙන ලදී.

එම සාකච්ඡාවෙන් අනතුරුව නැවත යැංගුම් නුවර පිහිටි Shwe Dagon Pagoda මියන්මාර පන්සලේ වැඩවසන මියන්මාර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වන Thanlyin Min Kyaung Sayardaw නායක ස්වාමීන් වහන්සේ සමඟ ද මෙම දරුවන් බේරා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළේය. එම ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකාවේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගේ අත්සනින් යුතු, මෙම දරුවන් බේරා ගැනීම සඳහා වන විශේෂ ඉල්ලීමක් ඇතුළත් සංදේශයක් බාරදීම ද සවස 07.30 ට යැංගුම් විහාරස්ථානයේදී සිදුවිය.