ඊයේ දිනයේදී ක්‍රිකට් දුෂිතයන්ට එරෙහිව හඬ නැගූ ක්‍රීඩා අමාත්‍යවරයාව එම ධූරයෙන් නෙරපා දැමීමට අනුප්‍රාප්තික ජනාධිපති අත්තනෝමතික ලෙස කටයුතු කල අතර එම ක්‍රියාව පිටුපස අදිසි හාස්තයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නයකවරයා ඊයේ මාධ්‍ය නිවේදනයක් මගින් අවධාරණය කළේය.

Sri Lanka Cricket

ජනාධිපතිවරයාගේ එම අත්තනෝමතික ක්‍රියාපිළිවෙත විවේචනය කරමින් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුව අමතමින් ඉතා වැදගත් තොරතුරු රැසක් අවධාරණය කළේය.

මෑත කාලයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරකමට එරෙහිව ඒකමතිකව එකතු වූ අවස්ථාවක් ලෙස ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම හැඳින්විය හැකි වුවත් මේ වන විට මේ යෝජනාවට පයින් ගසා හොරකම හෙළිදරව් කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැක ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

‘හොරකම් කළාට කමක් නෑ හොරු අල්ලන්න තහනම්’ බවත් ‘යස් සර් යස් සර්’ ගගා හිටියොත් යහතින් සිටිය හැකි බවත් එසේ නොවුවහොත් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට සිදුවූ ආකාරයේ දෙයක් විය හැකි බවට වන රතු එළියක් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ලබා දී ඇති බවත් මේ වන විට 225 දෙනාම විධායකයේ යකඩ සපත්තුවට යට වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයාව ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පවා ජනාධිපතිවරයා විසින් ක්‍රියා කළේ වැරදි ආකාරයට බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයා අවසානයේ පාර්ලිමේන්තුව තුට්ටු දෙකට දමා ඇති බවත් ඔහු මැතිවරණය පැවැත්වීමට අදාළව අධිකරණය දුන් තීන්දුව පවා ගණන් නොගත් බවත් ඔහුව මෙහෙයවන අදිසි හස්තයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම සීනි, බෙහෙත්, ක්‍රිකට් ආදී මාෆියා විසින් මැති ඇමතිවරුන් ඉවත් කිරිම සම්බන්ධයෙන් පවා තීන්දු කිරීමේ තත්ත්වයක් උදා වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ක්‍රීඩා ඇමතිවරයා සමඟ එකතු වී ක්‍රිකට් තහංචිය ඉවත් කරන්න කටයුතු කළා මිස කිසිදු අවස්ථාවක තමා දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කිරීමට කටයුතු නොකළ බවත් තමා හමුවීමට රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයා පමණක් නොව වත්මන් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් පැමිණෙන බැවින් එම තර්කය මත ඔවුන්ද ධුරවලින් ඉවත් කල යුතු බවත් පැවසීය.

එසේම සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගන්නේ ඔලුගෙඩි මාරුවෙන් නොව ජනතාවගේ ජන වරමෙන් බවත් එබැවින් කුමන්ත්‍රණ කිරීමට විපක්ෂයට කිසිදු සූදානමක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ඉතිහාසයේ පළමු වතාවට ජනවරමක් නොමැති ජනාධිපතිවරයා විසින් ජනතා වරමින් පත්වූ මන්ත්‍රිවරයකු පන්නා දැමීම සිදුවූ බවත් පැවසීය.