තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබා දෙන පවසා රවටා මියන්මාරයට ගෙන්වා ගැනීමෙන් පසු මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටින තරුණයන් සහ වැඩි වැටුපකට රැකියා ලබා දෙන පවසා රවටා රුසියාවට ගෙන ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයේ ඉදිරි පෙළ සඳහා බලහත්කාරයෙන් යොමු කර සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් මුදවා ගෙන ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා වන කටයුතු සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීම මත සමගි ජන බලවේගයේ නියෝජිතයන් තිදෙනකු එම රටවල්වලට යැවීමට තීරණය කර තිබේ.

මේ සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා, ජේ. සී. අලවතුවල මහතා සහ කේ. සුජිත් සංජය පෙරේරා මහතා මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට එම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළ හැකි දේවල් සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතය.