යුගදනවි විදුලි බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා එළැඹි ගිවිසුම පිළිබඳව මේ වන විට රට පුරා මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මේ පිළිබඳව නිනිවේදනයක්  නිකුත් කරමින් පවසා ඇත්තේ මෙය “මැදියම් රැයේ කළ මහා පාවාදීමක්” ලෙස ය.මේ අතර අදාළ ගිවිසුම පිළිබඳව    සාකච්ඡාවක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ  (23) පස්වරුවේ පැවැත්වුණි.

සාකච්ඡාවෙන් පසු  ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, මෙසේ පැවසීය.

“සන්ධානයේ ඔක්කොම නායකයෝ ටික එකතු කරලා සාකච්ඡා කළා. LNG බලාගාරය අපි කරන්න ඕන, අපේ සම්පත් පිටට නොදීමේ ප්‍රතිපත්තිය රකින්න ඕනේ කියලා. අත්සන් කිරීම එතරම් වැදගත් නෑ. අපේ තීන්දුවයි ප්‍රධාන”
බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 
“මේ ගිවිසුම හරහා අමෙරිකාව විදුලිය දෙන එක නතර කළොත් අපිට විදුලිය නැති වෙනවා. ඒ විනාශයට අත උස්සන්න අපි සූදානම් නෑ.”
මේ දේ විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු මේ පිළිබඳව සාකච්ඡා කරන බව ය .
කෙසේ වෙතත් අදාළ ගිවිසුම පිළිබඳව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ආණ්ඩුවට එරෙහි දැඩි පියවර ගැනීම සඳහා සූදානම්ව සිටින බව වාර්තා වේ.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති අතුල වන්නිආරච් මහතා දෙරණ රූපවාහිනියේ  වැඩසටහනකට එක්වෙමින් මෙසේ පැවසීය. 

“ලබන වසරේ සිට විශාල ලාභයක් ලබන්න තියෙනවා. පොල් වත්තක් හදලා පොල් කඩන්න යද්දී මට මේක විකුණන්න ඕනේ නම් මම මේකට කොච්චර ආයෝජනය කරලා තියෙනවාද? කොච්චර ආදායමක් එනවාද? මුදල් හදිසියකට විකුණනවා නම් තක්සේරු කරන්න ඕන කීයකටද විකුණන්නේ කියලා. ඒවා කරනවාද? නැද්ද? කියලා ප්‍රශ්න තියෙනවා.“