ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට අවස්ථාවක් නොමැති බවත් මෙරට මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය අනුව එය ප්‍රායෝගික නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන පක්ෂ නියෝජිතයින් පසුගිය දිනවල අදහස් දක්වා තිබුණා.

ජනාධිපතිවරණය සඳහා නිකුත් කෙරෙන්නේ මුළු දිවයිනටම එක් නිල ඡන්ද ප්‍රත්‍රිකාවක් පමණක් වුවත් මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා ඡන්ද පත්‍රිකා 22 ක් නිකුත් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ නිලධාරියා විසින් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මැතිවරණ දෙකක් එක් අවස්ථාවක පැවැත්වීම හා එහිදී ඡන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ මෙරට ඡන්ද දායකයින්ට නිසි දැනුමක් නොමැති වීමද ප්‍රධාන ගැටලුක් බව මැතිවරණ කොමිසම තවදුරටත් සඳහන් කරනවා.

මැතිවරණ කොමිසම තවදුරටත් පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලන පක්ෂ මහ මැතිවරණය සඳහා තරඟ කළද ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනත් අපේක්ෂකයෙකුට සහය පල කර තරඟ නොකර සිටීම හේතුවෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

ඒ අනුව, මෙවැනි ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.