මාස ගණනාවක් පුරා මේ රටේ ජනාධිපති, අගමැති, කැබිනට් එක සහ ආණ්ඩුවට සම්බන්ධිත පාර්ශ්වයන් විසින් පළාත් පාලන ඡන්දය වැළැක්වීමේ සහ කඩාකප්පල් කිරීමේ මහා කුමන්ත්‍රණයක නියැලුණු බවත් එක් අවස්ථාවක හපුහින්න මගඬිය හරහා හොර තීන්දු, බොරු තීන්දු, වංචාකාර තීන්දු කැබිනට් එකෙන් ගත්තා යැයි පවසා අපේක්ෂකයන්ට ඇප මුදල් තැන්පත් කිරීම වැළැක්වීමේ ජාති දේ‍රා්හී ක්‍රියාවලියක නියැලුණු බවත් තවත් අවස්ථාවක භාණ්ඩාගාර ලේකම් හරහා මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බවත් රජයට මුදල් නොමැති බවත්, සමාජ සුබසාධන ක්‍රියා ඇතුළු වැටුප් ගෙවා දැමිය නොහැකි බවත් පවසා සිටි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුව අලුත් මගඩියකට සැරසෙනවා!

මේ මැතිවරණ කඩාකප්පල් කිරීමේ මගඬියේ අලුත් පියවරක් ලෙස හෙට දින ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කර මැතිවරණ කොමිසම අඩපණ කිරීමට උත්සාහ ගන්නා බවත් ජනතා පරමාධිපත්‍යයට අත තිබ්බොත් එයට දෙන දඬුවම් රටේ නීති පොත්වල සඳහන්ව ඇති බැවින් හපුහින්න මගඬිය හා භාණ්ඩාගාර ලේකම් හරහා ජනතා පරමාධිපත්‍ය කෙලසීමට ගත් උත්සාහයට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පැවසීය.

එසේ ම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම, මාර්තු 9 වැනි දා පැවැත්වෙන මැතිවරණය කඩාකප්පල් කිරීමට භාවිත කළොත් ඊට එරෙහිව  රටේ ජනතාවගේ ඡන්ද අයිතීන් සුරකිමින් එම ක්‍රියාව නියත වශයෙන්ම පරාජය කරන බවත් ඒ සඳහා ඕනෑම පියවරක් ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

මැතිවරණ කල් දමන කුමන්ත්‍රණ එපා!

එසේ ම ව්‍යවස්ථාදායක සභාවේ වගකිවයුතු පාර්ශ්වයන්ට කියා සිටින්නේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණ හෙට පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමේ න්‍යයපත්‍රයට ඇතුළත් නොකරන ලෙසත් ස්වාධින මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට හානියක් වන කිසිවක් නොකරන ලෙසත් අනතුරු අගවන බවත් ය. එමෙන් ම මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සුරැකීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා ලෙස මේ රටේ ජනතා පරාමාධිපත්‍ය කෙලසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට ඕනෑම අවස්ථාවක පෙරට එන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මැතිවරණ ඉල්ලනකොට සමහරු එදා නැඟුවා!

තමා මැතිවරණය අවැසි බවට ප්‍රකාශ කළ විට අවලාද නැගු පිරිස් මේ අවස්ථාවේ මැතිවරණය ඉල්ලා සිටින බවත් එම නිසා මැතිවරණ කල් දැමීමට හෝ කඩාකප්පල් කිරීමට රජය ගන්නා ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.