අප්‍රේල් 25 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා වහාම මුදල් ලබාදෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම ජනපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යවා ඇති බව එම කොමිසම පවසන්.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා වෙත පසුගියදා අදාළ ලිපිය යොමු කළ බවයි.

මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි, සිය කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපිය, අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බැවින් සිය කොමිසම මුදල් අමාත්‍යවරයාට එම ලිපිය යොමු කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරීම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ  ලේකම්වරයා දැනුම් දී ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී  ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා‍ගේ ද අනුමැතිය අවශ්‍ය වන බවයි.
 
මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවිය.

මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, අප්‍රේල් මස 25 වැනිදායි.

2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වලකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය,  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමග එය තීරණය කෙරිණි.