වැඩකරන ජනතාව නියෝජනය කරන විවිධ වෘත්තීය සමිති ගණනාවක් ඉදිරිපත්කල පෙත්සම් 31ක් වෙනුවෙන් පසුගියදා නීතිඥ ස්වස්තිකා අරුලිංගම් විනාඩි 45ක වාචික දේශනයක් අධිකරණයේදී සිදුකල අතර එම දේශනය පිළිබඳව whatnews.lk වෙබ් අඩවියේ තරිදු උඩුවරගෙදර/තරිදු ජයවර්ධන යන සටහන්කරුවන් පළකර තිබූ සටහනක් ඇසුරෙන් මෙම ලිපිය නිර්මාණය කරන ලදි.

අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් 31ක් විභාගයට ගත් අවස්ථාවේ දී නීතිඥවරිය කියා සිටියේ මෙම යෝජිත ත්‍රස්ත පනත හරහා ජනමාධ්‍ය කර්මාන්තයටම මෙමගින් දැඩි බලපෑම් එල්ල වන බවත් ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය මෙම පනත හරහා මුළුමනින්ම ත්‍රස්ත ක්‍රියාවක් කර ඇති බවත්ය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන, තාක්ෂණික විදුලි අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදයකුමාර, එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ ලේකම් ජේ.බී. ගුරුසිංහ, සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ ලේකම් දුමින්ද පෙරේරා, ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල, එක්සත් සේවක සංගමයේ සංවිධායක ලේකම් නිහාල් අජිත්, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර සහ ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අනුක විමුක්ති ද සිල්වා ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් නව දෙනකු නීතිඥ රම්සි බාචා මහතා මගින් ඉදිරිපත් කළ පෙත්සමක කරුණු දක්වමිනුයි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මේම කරුණු ප්‍රකාශ කර සිටියේ.

ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන බවත්, තොරතුරු එක්රැස් කිරීම සහ ඒවා ප්‍රකාශයට පත් කිරීම එම කොටස් දෙක බවත්, මෙම පනත් කෙටුම්පතේ නව වැනි වගන්තිය මගින් ඇතැම් තොරතුරු එක්රැස් කිරීම ත්‍රස්ත වරදක් බවට පත් කර ඇති බවත් නීතිඥවරිය සඳහන් කළාය. පනතේ 10 වැනි වගන්තිය මගින් ද භාෂණයේ ප්‍රකාශනයේ නිදහස අහිමි කරන බව කී නීතිඥවරිය කෙටුම්පතේ 09 සහ 10 වැනි වගන්ති මගින් ජනමාධ්‍යකරණය ත්‍රස්ත වරදක් බවට පත්වීමෙන් ජනමාධ්‍යවේදීන්ට දැඩි බලපෑමක් විය හැකි බව අවධාරණය කළේය.

සාමාන්‍ය නීතිය යටතේ සාධාරණසැකයක් ඇත්නම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බලය ඇත්තේ පොලිසියට බවත්, මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති විසින් නිකුත් කරන නියෝග මත හමුදාවට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බලය ලැබුණද එය මාසෙකට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ගත යුතු බවත්, මෙම අලුත් ත්‍රස්ත විරෝධී පනත මගින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය හමුදාවට ලබා දී ඇති බවත් නීතිඥවරිය කීවාය.

මේ ඇය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ කරුණු ඉදිරිපත් කිරීමෙහි සිංහල සංක්ෂිප්තයකි.

”සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ ගොඩනැගූ තර්කයක් තිබෙනවා. ව්‍යතිරේඛයේ ස්ථීර තත්වය (permanent state of exception) කියා. (අසාමාන්‍ය ව්‍යතිරේඛ තත්වයක් සාමාන්‍ය තත්වයක් ලෙස සැලකීම.) මේ පිළිබද සදහන් වෙනවා ජෝර්ජියෝ අගම්බෙන් (Giorgio Agamben) ලියූ State of exception කියන කෘතියේ. මේක ජර්මනියේ චාන්සලර්වරයාගේ බලය පිළිබද 1920 දශකයේ කාල් ෂ්මිට් (Carl Schmitt) කියන දාර්ශනිකයා හදුන්වාදුන් එකක්. නව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් විසින් හදිසි තත්වයක් ස්ථීරව පවත්වාගෙන යෑමට කටයුතු කරන ආකාරය එහිදී කතා කරනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්‘ ප්‍රකාශයට පත් කළාට පසු, ත්‍රස්තවාදය පිළිබද දෘෂ්ඨිවාදය රාජ්‍යයන් විසින් පාවිච්චි කරන්නට පටන් ගත්තා.

ත්‍රස්තවාදය වැළැක්වීම සදහා නීති ඊට පෙර ලෝකය තුළ ප්‍රකට වුණේ නැහැ. ඒ නිසාම ශ්‍රී ලංකාව 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හදුන්වාදුන්නාට පස්සේ එය වර්ණභේදවාදයට සමාන කළා. විධායකයට ස්ථීරවම මූලික අයිතීන් සීමා කිරීම සදහා අවකාශය සැලසීම පිළිගත් සංකල්පයක් වුණේ නැහැ ඊට පෙර.

එම ව්‍යතිරේඛයේ ස්ථීර තත්වය පිළිබද සංකල්පය හිසේ තබාගෙන මම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 19 වැනි වගන්තියට යොමු වෙනවා.

‘යම් පොලිස් නිලධාරියෙකු, යම් සන්නද්ධ හමුදා නිලධාරියෙකු හෝ වෙරළ ආරක්ෂක නිලධරයෙකු විසින්, මේ පනත යටතේ වන වරදක් ඔහු ඉදිරිපිටදී සිදු කර ඇති බවට හෝ මේ පනත යටතේ වන වරදක් ඒ තැනැත්තා විසින් සිදු කිරීමට අත්‍යසන්න හැකියාවක් පවතින බවට විශ්වාස කිරීමට ඔහුට සාධාරණ සැකයක් ඇති යම් තැනැත්තකු…..‘
වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගැනීම සදහා පහසුකම්  සැලැස්වීමේ හැකියාව තිබෙනවා.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනතේ 06 වැනි වගන්තිය යටතේ සෝදිසි කිරීම් සහ සිරභාරයට ගැනීම් පිළිබද සදහන් වෙනවා. ඒ අනුව ඕනෑම මට්ටමක පොලිස් හෝ හමුදා නිලධාරීන් සදහා අත්අඩංගුවට ගැනීමේ බලයක් නෑ. එහෙත් අලුත් පනත් කෙටුම්පත අනුව හමුදාවට ඒ හැකියාව ලැබෙනවා. දැනට පවතින සාමාන්‍ය නීතිය අනුව වුව, මහජන ආරක්ෂක පනත යටතේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා, එවැනි හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් හමුදාව සේවයට කැදවීමේ හැකියාව ඇතත්, එය මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුයි. එහෙත්, මෙම පනත යටතේ එලෙස පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගන්නේ නැතිව දිගින් දිගටම හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත් කිරීමේ හැකියාව ලැබෙනවා.

ඒ අනුව කල්පනා කරලා බලන්න වෙනවා, හමුදා කණ්ඩායම් සාමාන්‍ය පාරවල්වල ගමන් කරන්නට පටන් ගන්නා තත්වයක් පිළිබද. හමුදාමය කණ්ඩායම් යුද්ධයට පුහුණු කරන ලද පිරිසක්. මිලිටරිය හුරු කර තිබෙන්නේ සතුරන් හදුනාගන්න. සිවිල් ක්‍රියාකාරකම්වලට නෙවෙයි. හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ මිලිටරිකරනයකට ලක් කරනවා.

මා මෙම පෙත්සම ඉදිරිපත් කරන්නේ වෘත්තිය සමිති 07ක් වෙනුවෙන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් සහ ගොවි සංවිධානයක් වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන්. (වෘත්තිය සමිති, තාක්ෂණික විදුලි අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදයකුමාර, එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ ලේකම් ජේ.බී. ගුරුසිංහ, සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ ලේකම් දුමින්ද පෙරේරා, ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල, එක්සත් සේවක සංගමයේ සංවිධායක ලේකම් නිහාල් අජිත්, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර, ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග)

මේ වන විට වෘත්තිය සමිති ව්‍යාපාරය පෞද්ගලිකකරණයට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපරාධකරණයට ලක් කර තිබෙනවා. වෙනත් නීතිඥවරුන් මෙහිදී නැවත නැවතත් පෙන්වා දුන් නිසා, මා වැඩිදුර පෙන්වා දෙන්නේ නැහැ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැන.

කෙසේ වෙතත් නීතිඥ අර්මිසා ටීගල් පෙන්වා දුන්නා සාමාන්‍ය අපරාධ නීති ක්‍රමවේදයට සමගාමීව මෙම පනත යටතේ වෙනත් සමාන්තර අපරාධ නීති ක්‍රමවේදයක් හදුන්වාදීම පිළිබද. ඒ අනුව මෙහි අපරාධ යුක්ති සිස්ටම් දෙකක් පවතීවි.

පනතේ 28 (1) වැනි වගන්තිය අනුව ‘පොලිස් නිලධාරියෙකු විසින් සිරභාරයට ගෙන රදවා තබා ගත් කෙනෙකු හෝ 20 වන වගන්තිය යටතේ පොලිස් නිලධාරයෙකු නොවන නිලධරයෙකු විසින් සිරභාරයට ගෙන පොලිස් ස්ථානය භාර නිලධාරියෙකු වෙත හෝ නම් කරන ලද පොලිස් නිලධරයෙකු වෙත‘ ඉදිරිපත් කර ඇත්තා වූ කෙනෙකු සිරභාරයට ගෙන පැය 48ක් නොඉක්මවන කාලයක් තුළ ආසන්නතම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.

එහෙත් මෙම අත්අඩංගුවට ගෙන පැය 48ක් ඇතුළත ඉදිරිපත් කිරිමේ තත්වය ව්‍යාකූල කරනවා. එහි සදහන් වෙනවා, ‘සිරභාරයට ගැනීම ලංකා දේශය තුළ දී සිදු කරනු ලැබ ඇති අවස්ථාවක දී, සිරභාරයට ගන්නා ලද ස්ථානයෙහි සිට අදාල මහේස්ත්‍රාත්වරයා වෙත ගමන් කිරීම සදහා අවශ්‍ය කාලසීමාව, එම පැය හතළිස් අට ගණනය කිරීමේදී බැහැර කරනු ලැබිය යුතුය.‘ යනුවෙන්. ඒ අනුව අත්අඩංගුවට ගනු ලබන නිලධාරියා කවුද, පොලීසියට භාර දීමට ගත වෙන කාලසීමාව කොපමණද, ඉන් පසු පොලිස් ස්ථානයේ සිට මහේස්ත්‍රාත් වෙත ගමන් කරන්නට ගත වෙන කාලසීමාව කුමක්ද ආදී වශයෙන් කාලය ගණනය කිරීම සම්පූර්ණයෙන් ව්‍යාකූල සහ අපැහැදිලි ලෙසයි මෙහි සදහන් වෙන්නේ.

පනතේ 39.1 වගන්තිය අනුව පනත ප්‍රකාරව රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබූ යම් සැකකරුවෙකු සම්මුඛ වී සාකච්ඡා කිරීමට, මහේස්ත්‍රාත්වරයාගේ අවසරය මත ප්‍රකාශ සටහන් කරගැනීමට හෝ මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරය යටතේ රිමාන්ඩ් භාරයෙන් ඉවතට ගැනීමට හිමිකම ලැබෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයෙකුගේ අධිකරණමය මනස මෙහෙයවූ අවසරයක් යටතේ විමර්ශන නිලධාරියාට විමර්ශන කරගෙන යෑමට පහසුකම් සලසනවා. ඇත්තටම මෙහිදී සැබෑ ප්‍රශ්නය රැදවුම් නියෝගයක අරමුණ මොකක්ද කියන එකයි. රැදවුම් නියෝගයක් මගින් පුද්ගලයෙකු රදවාගෙන තබාගැනීමේ අරමුණම ඵලරහිත බව මෙයින් පෙනෙනවා. දැනටත් විවිධ අපරාධවලට අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තන් මහේස්ත්‍රාත්වරුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ පසු, අධිකරණ අවසරය යටතේ විමර්ශන නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා. පවතින නීති ක්‍රමය යටතේ එයට කිසිදු බාධාවක් නැහැ. එසේ නම්, රැදවුම් නියෝග අවශය වන්නේ නැහැ. ඒ ඉඩකඩ තිබියදී වුව, ඔවුන්ට රැදවුම් නියෝගයක් අවශ්‍ය වන්නේ ඇයිද කියන ප්‍රශ්නයවත් නැගෙන්නේ නෑ.

රැදවුම් නියෝගයක් සාධාරණීකරණය කරන්නට ඉඩක් තියෙනවා යම් කිසි බෝම්බයක් පිපිරීමෙන් පසු, අධිකරණයටත් රැස් වෙන්න බැරි අවස්ථාවකදී වගේ නම්. එහෙම අවස්ථාවක මහජන ආරක්ෂක පනත යටතේ නියෝග පැනවීමේ හැකියාව තිබෙනවා. එවැනි නියෝග පාර්ලිමේන්තුවේ පරීක්ෂාවට ලක් වෙනවා. එහෙම විශේෂ තත්වයක් නොමැතිව, ස්ථීරව රැදවුම් නියෝගවල අවශ්‍යතාවක් නැහැ. යුද්ධයෙන් පසු, මේ දක්වා මහේස්ත්‍රාත්වරුන් ඉතාම ලිහිල් විදියටයි කටයුතු කරන්නේ. මහා රාත්‍රියේ වුව අත්අඩංගුවට ගනු ලැබූ කෙනෙකු නිවසට රැගෙන ආවත් වරෙන්තු නිකුත් කිරීමට හා අධීක්ෂණයට ලක් කිරීමට මහේස්ත්‍රාත්වරුන් දැන් කටයුතු කරනවා. ඒ අනුව මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ විමර්ශන කිරීමට කිසිදු බාධාවක් විමර්ශන නිලධාරීන්ට නැහැ.

පනත අනුව රැදවුම් නියෝග සදහා බලය ලැබෙන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට. මේ බලය අධිකරණමය බලයක්. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට පුද්ගලයන්ගේ නිදහස සීමා කරමින් රදවා තබාගැනීමේ අධිකරණමය බලයක් ලබා දීමට හේතුවක් නැහැ.

ඒ වගේම 72.1 වගන්තිය අනුව මුල් රැදවුම් නියෝගයෙන් පසු, මහාධිකරණ නඩු විභාගයක් අවසන් වනතුරු රදවා තබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පුළුවන්කම ලැබෙනවා. ‘ජාතික ආරක්ෂාවේ සහ මහජන සාමයේ යහපත සැලකිල්ලට ගනිමින්, මහාධිකරණය විසින් නිශ්චය කරනු ලැබිය හැකි කොන්දේසිවලට යටත්ව යම් බලධරයෙකුගේ භාරයේ, යම් ස්ථානයක ඒ තැනැත්තා තැබීමට නියෝග කරනු ලැබිය හැකිය.‘ යනුවෙන් සදහන් වෙනවා.

‘යම් නිලධරයෙකුගේ භාරයේ‘, ‘යම් ස්ථානයක‘ රදවා තැබීම කියන්නේ, ඕනෑම තැනක රදවන්න පුලුවන්. (මෙය සංස්කාරක සටහනකි. මෙයින් අදහස් වන්නේ, ඕනෑ නම් රනිල් වික්‍රමසිංහගේ නිවසේ වුව තමන් කැමති කෙනෙක්ව රදවා තැබීමේ හැකියාව ඇති බවයි. මීට පෙර බටලන්ද වධකාගාරය සදහා පහසුකම් සැලසීමට තමාගේ නිවාස සංකීර්ණය යෙදවූ රනිල්, නැවත වතාවක් නිවසේ පුද්ගලයන් රදවා ගත්තත් පුදුම විය යුතු නොවේ.)

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටින නිසා, මම 9 වැනි වගන්තිය ගැන කරුණු මතු කරනවා. ඒ අනුව ‘තොරතුරු රැස් කිරීම‘ (gathering information) වරදක් ලෙස සදහන් කරනවා. එය 10.1 වගන්තිය සමග කියවූ විට මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හෝ වෙනත් ආකාරයක ප්‍රසිද්ධ මාධ්‍ය‘ ඇතුළත් වෙනවා. ඊට අමතරව පනතේ පැහැදිලිව විස්තර කර නොමැති ‘ත්‍රස්තවාදය‘ නම් වූ වරද සිදු කරන හෝ එය උත්කර්ෂයට නංවන ආදී වශයෙන් වැරදි නම් කරලා තියෙනවා.

ත්‍රස්තවාදය පිළිබද නිර්වචනය අපැහිදිලියි. රාජ්‍යය විසින් ඇතැම් විප්ලවීය ක්‍රියාමාර්ග නිත්‍යානුකූල ලෙස පිළිගත යුතුයැයි මා සිතන්නේ නෑ. එහෙත්, අදහස් ප්‍රකාශනයේදී කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් වැනි කෘතියක් ගැන කරුණු දැක්වීමත් ත්‍රස්තවාදී ප්‍රකාශනයක් ලෙස කල්පනා කිරීමට ඉඩ තිබෙනවා.

මතක තබාගත යුතුයි, මෙහිදී අප සලකා බැලිය යුත්තේ විමර්ශකයාගේ මානසිකත්වය. අහ්නෆ් ජසීම් කියන තරුණයාව අත්අඩංගුවට ගත්තේ, විමර්ශකයා දෙමළ භාෂාව නොදත් නිසා. ඔහු ලියා තිබූ කාව්‍ය කෘතියක කවරයේ තිබුණු ඡායාරූපය අනුව ඔහු අත්අඩංගුවට ගත්තා. ඉන් පසු මාස ගණනාවක් ඔහුව රදවා තැබුවා. මේ පනතෙන් මහා බලතල ප්‍රමාණයක් ලබා දී ඇත්තා වූ, විමර්ශකයන් විසින් පනත කියවාගන්නේ කෙසේද කියන එක වැදගත්.

මෙයින් මතු කරන්නේ හුදු චෝදනාවක් නොවෙයි. ත්‍රස්තවාදය පිළිබද චෝදනාව බරපතලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ ‘දුෂ්ඨ පාලනයන්ට හා පරිපීඩනයන්ට විරුද්ධව අන්තිම ක්‍රියාමාර්ගයක් වශයෙන් කැරලි කෝලාහල ඇති කිරීම..‘ හදුනාගෙන තිබෙනවා.

ලිවීම විතරක් නෙවෙයි, වැරදීමක් පවා ත්‍රස්තවාදියෙක් වීමට මෙම පනත හේතු වෙනවා නම් එය බරපතලයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. බොහෝ අය හුදෙක් කාන්තන්කුඩියේ ජීවත් වූ නිසයි. හේතු නැතිව අත්අඩංගුවට ගනු ලැබූවන් ඉන්නවා. එවැනි අයට දැන් රැකියා ලබා ගන්න බැහැ. සමාජයෙහි ජීවත් වීම අභියෝගයක්.

මේ අනුව මෙම පනත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් මෙන්ම, ජනමතවිචාරණයකින් අනුමත කළ යුතු බව මම ප්‍රකාශ කර සිටිනවා.”