පොදු ජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ හිසට හෙල්මටයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසනවා.

හෙල්මටයකින් හිසට පහරදීම නිසා තුවාල ලැබු මහියංගණ මාපාකඩවැව දබගොල්ල ප්‍රදේශයේ පදිංචි මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, කන්දකැටිය බදුලුඔය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැවසුවේ, මෙම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කන්දකැටිය 21 හංදිය සිට කන්දකැටිය නගරය දෙසට යතුරුපැදියක ගමන් කරමින් සිටියදී පිටුපසින් යතුරුපැදියක පැමිණ ඇති සැකකරු මන්ත්‍රීවරයෙක්ගේ යතුරුපැදිය ඉස්සර කර ගොස් හෙබරගොඩ වංගුව අසලදී එක්වරම මාර්ගය හරස් කර මන්ත්‍රීවරයෙක් ගමන් ගත් යතුරුපැදිය නවතා ඇති බවයි.

මෙහිදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු මෙසේ හෙල්මටයකින් මන්ත්‍රීවරයාගේ හිසට පහරදී පලාගොස් ඇති බවත් සඳහන්.