වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ තිබෙන විරෝධය මේ වන විට වෛරයක් බවට පත්වී තිබෙන අයුරු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විවිධ වීඩියෝ පට, චායාරුප සහ අදහස් දැක්වීම් දෙස බලන විට පැහැදිලි වේ.

මෙම සිද්ධියට නිවැරදි කියමනක් කාරියමඩිත්තේ ඤාණාරාම හිමි උන්වහන්සේගේ මුහුනුපොතේ සඳහන් කර තිබිණි එනම්” මරණයේ සතුට යනු පීඩනයේ අඳෝනාවයි” යන කියමනයි.

ඊයේ දින (25) අළුයම මීගමු අධිවේගී මාර්ගයේදී හදිසි අනතුරකින් මියගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා දේශපාලන වශයෙන් විරුද්ධ මත දරන්නන් සමග නිරන්තර හැලහැප්පීම් ඇති කරගත් අයෙකි.

ඔහුගේ මරණය සමග සමාජ මාධ්‍ය තුළ පළවන ඇතැම් පෝස්ටු එම මතභේදය තහවුරු කරයි. මේ අතර සිදු නොවූ ඇතැම් දේවල්ද සිදුවූ ආකාරයට පවා ව්‍යාජව උකහාදක්වමින් ඡායාරූප පළකිරීම් සිදුකර ඇත.

සනත් නිශාන්ත දේශපාලන කල්ලියේම තවත් නියෝජිතයකු වන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි බවයි.

“එතුමාගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වුණා හැමදාම කමෙන්ට්ස් දාන්නේ කවුද කියලා. මේ වතාවේ සොයාබැලීමක් කළාම ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයාබැලීමක් කළා….. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ”

මේ ආකාරයේ ප්‍රකාශ කරන වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා කැරට් මිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් කියා සිටියේ කැරට් ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් කැරට් වෙනුවට ආදේශක ආහාර ගැනීම යෝග්‍ය බවත්ය. ජනතාවට ප්‍රමිතියකින් යුතු ආහාර සැපයීමේ ක්‍රියාවලියේ ප්‍රධානියා වශයෙන් වගකිවයුතු කෘෂිකර්ම අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජනතාවගේ කෝපය තව තවත් වදිකිරිමකි.

ජනතාව විසින් පත්කරගන්න ලද ආණ්ඩුවට එරෙහිව සාමකාමීව විරෝධය දැක්වීම පුරවැසියාට තිබෙන මූලික අයිතියක් බව සියලු දෙනාම දන්නා කාරණයකි. එම මූලික අයිතියට අභියෝග කරමින්, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින්, ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවයට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයට, ඊයේ දින (25) රිය අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත ප්‍රධාන චුදිතයෙක් බව ලංකාවාසී සියලුදෙනාම දන්නා කරුණකි.

සාමකාමිව පැවති ජනතා විරෝධය වෛරයක් බවට පත්වීමේ ප්‍රථම අධියරය ලෙස මෙම මැයි 9 දින ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයෙන් පසු ලංකාව පුරා ව්‍යාප්ත වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත් අනුමත කල නොහැකිය, නමුත් “ප්‍රහාරය මිලේච්ඡ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වයක් අපේක්ෂා කරන්න එපා” යන ප්‍රකාශය අප අක්වුරුත් දන්නා ප්‍රසිද්ධ කියමනකි.

ඇරිස්ටෝටල්ගේ කියමනට අනුව අප කවුරුත් දේශපාලනික සත්වයින්ය, දේශපාලනිකව ජයග්‍රාහී වන්නේ ප්‍රතිවාදියාව තලා පෙලා, ඝාතනයකර, මඩ ප්‍රහාර එල්ල කර බාහිරින් පරාජය කිරීම නොව දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව තුල ගෙනයමින් තිබෙන මේ කල් ඉකුත් වූ දේශපාලන සංස්කෘතිය මතවාදීව පරාජය කිරීමයි.