ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර කළ අනාවරණයන් ගැන විමර්ෂණය කිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හෙට (30* උදෑසන කැදවා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාරයේ සථානාධිපතිවරයා විසින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ලිපියක් යොමු කරමින් හෙට පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඩුවම් ලබාදිය හැකි බවද එම ලිපියේ දක්වා ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශවීම සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, ඒ අතරම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියා විසින් ද පැමිණිල්ලක් ගොනු කර ඇතැයිද මන්ත්‍රීවරයා වෙත යොමු කරන ලද ලිපියේ දැක්වේ.
මෙම දත්ත මැකීයාම පිළිබද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා තොරතුරු දන්නා බව අනාවරණය වී ඇති බවත් ඒ අනුව කරුණු අනාවරණය කරගැනීම සදහා මන්ත්‍රීවරයා කැදවන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.