‘මචං අපි ණය ගෙවන්නේ නැහැ’ කියමින් විදේශ රටවලින් ලබා ගත් ණය නොගෙවා සිටිය නොහැකි බවත් රටේ ණය නොගෙවා සිටියහොත් -හෝ ගෙවන් නැ කිව්වොත් සෘජු විදේශ ආයෝජන කිසිවක් රටට නොයෙන බවත් ඒවා බොරු කතා බවත් තවදුරටත් ඇන්දවිල්ලට හසු නොවන ලෙසත් තවදුරටත් ඇන්දෙන්නේ නම් රට මීට වඩා බංකොලොත් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ගමේ සමුපකාරයෙන් ග්‍රාමිය බැංකුවෙන් ණය ගෙන නොගෙවා සිටියොත් නඩු දාන බවත් එවැනි තත්ත්වයක් තුළ මචං කියා ණය නොගෙවා සිටිය නොහැකි බවත් ඒවා ජනතාව අන්දවන විහිළු කතා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් සහ උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මීට වසර 4කට පෙර රටම ඇන්දවුණු බවත් නැවත වරක් ඇන්දවිල්ලක හසු වුවහොත් මීට වඩා උග්‍ර ප්‍රපාතයකට රටම පත් වන බවත් එවිට පීඩනයට පත් වන්නේ සාමාන්‍ය ජනතාව මිස අධි පොහොසතුන් නොවන බවත් කොරෝනා සමයේ ජන ජීවිත කඩා වැටෙන කොට බැංකු පද්ධතිය සුපිරි ලාභ ලැබූ බැවින් නිවැරදිව සිතා සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ නායකයෝ හොරා කන් නැතිව පගා ගහන් නැතිව රටට සෙතක් වන දේවල් කරනවා නම් ඕනෑ තරම් සහයෝගය දීමට පුද්ගලයන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 78ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 761ක් වැය කර තිබේ.