අපි මේ ඉන්නේ ජීවිතයත් මරණයත් අතර කාර්තුවක. කන්න නැතිව, බෙහෙත් නැතිව පාරවල් ගානේ මිනිස්සු මැරි මැරී වැටෙනවා දකින්නට ලැබෙන යුගයක එළිපත්තේ සිටගෙන. ඒක ඔබගේ, මගේ, මේ රටේ මිනිස්සුන්ගේ කර්මය නෙමෙයි. ඒක සුලුතර දූෂිතයන් ප්‍රමාණයක් සිල්ලර චීවරත් අල්ලගෙන අපි මත පැටවු කරුමයක්. ඒ කරුමය, රටට ඇති ආදරය නිසා පොඩි උන්ගේ අනාගතය ගැන තියෙන හීන නිසා, කරැමයක් විදියට පටවන්න අපි ඒ අයට ඉඩදුන්නා. මොන දේ වුනත් අපිට ජීවත් වෙන්න රටක් ඕනෑයි ඔබ හිතුවා. මමත් කාලයක් ඒ විදියට හිතලා තියෙනවා.
ජීවත් වෙන්න රටක් පැතූ මිනිසුන්ගේ ජන්දයෙන් පත්වී ඒ මිනිසුන්ගේම ජීවත් වීමේ අයිතියට කිසිම හිරිකිතයකින් තොරව වැට කඩොලු බදිනවානම් මිනිසුන් ලෙස අපි කුමක් කලයුතුද? මිනිස්සු මේපාරට බැහැලා ඉන්නේ අන්න ඒ තමන් ඇතුලේ පැන නැගුණු ප්‍රශ්නය නිසා.
නිර්පාක්ෂික ජන අරගලයකට පාර හැදුනේ ඒකෙන්. මං ඒ ජන අරගලයට හිස නමා ගරුකරනවා.

අද මේ ජනතාව පාරට බැහැලා කරන අරගලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට අපි කීහිප පොලක් බොහෝම අසීරුවෙන් මේ ආණ්ඩුව ආරම්භයේ ඉදලාම කරගෙන ආවා. විපක්ෂයේ එහෙම මන්ත්‍රී කණ්ඩායමක් ඔබ දැකලා ඇති. මේ ආණ්ඩුව ජයග්‍රහණය කළ මුල් වකවානුවේ මිනිස්සු අපි දිහා බැලුවේ සමච්චලයට. සමාජ මාධ්‍ය ජාල පුරා අපිට අපහාස කරා වගේම බැන වැදින්න පටන් ගත්තා. සමහර විට ඔබත් එහෙම කරලා ඇති. ඒත් අපි දිගින් දිගටම මේ ආණ්ඩුවේ ඛේදනීය වැඩ පිලිවෙලට එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කළා. එහෙම කළේ ආපහු පාර්ලිමේන්තු එන්න ඕන නිසා නෙමෙයි. මං නියෝජනය කරන්නේ ජනතා මතයක් කියන එක තදබල විදියට මගේ ඔලුව ඇතුලේ තියෙන නිසා.

නමුත් මං මේ ලියුම ඔබට ලියන්නේ ඔබට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට නෙමෙයි. මේ රටේ පුරවැසියෙක් විදියට.

සිරිසේන ජනාධිපතිවරයා අත්තනෝමතික ආකාරයට මහින්ද රාජපක්ෂව අගමැති කරපු වෙලාවේ මං එලියට බැස්සේ මන්ත්‍රීවරයෙක් විදියට වඩා, ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්න පුරවැසියෙක් විදියට. ලිබරල් තරුණයෙක් විදියට. එතනින් පටන් ගත්ත අරගලේ දින පනස් දෙකක් පවත්වගෙන යන්න අපිට සිද්ධවුනා මහින්ද රාජපක්ෂව අගමැතිකමෙන් එලවන්න. මතකද, රාජපක්ෂවරු ඒ තරම්ම බලලෝභීයි. අවසානයේදී පල්ලි ගියපු ජීවිත දෙසීය හැට නමයක් අහිමි වුනේ ඒ දින පනස් දෙක නිසා නොවේද? අදටත් ඒ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමෙ කිසිම සූදානමක් ඔබට පේනවද? මටනං පේන්නේ නෑ.

තුන්වෙනිදා රටපුරා උද්ගෝෂණ මාලාවක් පටන් ගන්න රටම ලෑස්ති වෙද්දී ඊට පෙර මිරිහානේ හදිසි උද්ගෝෂණයක් ඇතිවෙලා බස් රථයක් ගිනිතියලා ඇදිරි නීතිය හා හදිසි නිතිය දැම්මා ඔබට මතක ඇති. රජයේ දේපලක් වුනු හමුදාවට අයිති බස් රථය ගෙනල්ලා පාරේ නවත්තලා ගිය, රාජපක්ෂ අතකොලුවට විරුද්ධව නීතිය ගත්ත පියවර මොකක්ද කියලා ඔබ දන්නේ නැතිව ඇති. අපි දන්නෙත් නැහැ.

මේ ආණ්ඩුව ලංකාව තුළ පළමු වතාවට හදිසි නීතිය සහ ඇදිරි නීතිය බලු කරලා දාපු හැටි ඔබට මතක ඇති. මිනිස්සු ඇදිරි නීතිය හා හදිසි නීතිය නොතකා පාරට බහිනවා කියලා දැන දැන රටේ ජනාධිපතිවරයා ඒක දැම්මේ අදුරු අවනීතික කාලයකට ඔබව රැගෙන යන්න. ඒත් ඒ සියල්ල දේශීය හා විදේශිය ආදරේ පිරුණු මිනිස්සු විසින් වලක්වනු ලැබුවා කියන එක ඔබ දන්නේ නැතිව ඇති.

ආණ්ඩුවේ ගජ මිතුරෙක් වන කූඨ ව්‍යාපාරිකයෙක් තමන්ගේ වෙලදාම වෙනුවෙන් රටේ ආරක්ෂක කවුන්සිලය පවා මෙහෙය වනවා කියලා ඔබ දන්නවා ඇති. මේ දේවල් වලට කෑ ගහනකොට අපිව නිතියෙන් හිර කරන්න, අපේ චරිත ඝාතනය කරන්න ආණ්ඩුව මොන තරම් උත්සාහ කළාද කියලා ඔබ දන්නේ නැතිව ඇති. කට මුලට හිර වුනත් මේ රටේ අන්තිම සාරයත් උරාගන්නකල් රජපක්ෂලා හා ඒ වටේ ඉන්න අමන පැලැන්තිය මේක දාලා යන්න සුදානම් නැහැ. ඒකයි අපිට රාජපක්ෂලාගෙන් අපේ අනාගතය බේරගන්න මේ විදියට පාරට බැහැලා ඉන්න වෙලා තියෙන්නේ.

අපි මේ පාරට බැහැලා ඉන්නේ මොන වගේ යුගයකද කියලා ටිකක් බලමු.
යුද්ධය අවසන් වුනු වහාම චීනය බොහෝම කඩිසරව සේද මාවතේ වැඩ පටන් ගත්තා. ඒ ඇයි? ඔබ ඔය රාජපක්ෂ සංවර්ධනය විදියට දකින අධිවේගී මාර්ග චීන සේද මාවතේ කොටස්. චීනෙන් ණය වෙනුවට මුදල් අරගෙන රට ගොඩ නගන්න තිබුණු අවස්තාවක් තමයි රාජපක්ෂවරු තමන්ගේ සාක්කුව වෙනුවෙන් රටට අහිමිකළේ. අන්තිමට චීනේ සල්ලි දිලා රාජපක්ෂලගේ කොමිස් කුට්ටිය දීලා ඉතිරි සල්ලි ටික ආපහු තමන්ගේම රටට අරන් ගිහින් අපෙන් ණයත් අයකර ගැනීම මොන තරම් ජඩ වැඩක් දැයි ඔබ කල්පනා කරබලන්න.

චීනයේ වුවමනාවත් රාජපක්ෂලාගේ කෑදර කමටත් අපි ණය ගෙවමින් සිටිනවා. ලෝකයක් ඉදිරියේ ලාංකික ජනතාව මෝඩයන් බවට පත්කොට තිබෙනවා. ඇමරිකාව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරන්නට සැරසුනු බව ඔබට මතක ඇති. ඒ වගේම එය හකුලාගත් බවත් මතක ඇති. චීනයේ ව්‍යාපෘති හා සසදා බැලු විට ඇමරිකාව එය හකුලා ගත්තේ රාජපක්ෂලාගේ පුද්ගලික කෑදරකම නිසාද නැතිනම් සිංහල ජාති ආලයෙන් ඇමරිකාවෙන් රට බේරාගැනීමට කළ සිංහනාදය නිසාවෙන්දැයි යන්න සිතාබැලීමට ඔබ⁣ටම ඉඩ දෙමි.

චීන වරාය නගරය හා අවට ඉන්දීය සාගර කලාපයේ ඇති රාජ්‍යයන් දිහා හොදට බලන්න. මේ මෑත යුගයේ සිදුවීම් අපිට සියුම් අනාගතයක හෝඩුවාවන් ගෙන එනවා. ඒ අනාගත ලෝකයේ ආර්ථික හා දේශපාලන බලයේ හෝඩුවාවයි. අනාගත ලෝකයේ දේශපාලන හා ආර්ථික බලය හිමිවන්නේ ඉන්දු හා ෆැසිපික් සාගර කලාපයටයි. දහ අට – දහනම වන සියවස් වල සිදුවූ දෙය නැවත සිදුවීමක් ලෙස නෙමේද මේක අපිට විග්‍රහ කරගන්න පුලුවන් වෙන්නේ. විප්ලව යුගයෙන් පස්සේ එකතැන නතර වුනු යුරෝපීයන් ඉන්දු ෆැසිපික් සාගර කලාපය ආක්‍රමණය කරලා යුරෝපයේ සංවර්ධනය වෙනුවෙන් මේ සාගර කලාපයේ අපිව සූරාගෙන ගියා. මගේ දැක්ම අනුව යළි සිදුවෙමින් තිබෙන්නේද එයමයි.

රටට එරෙහිව රාජපක්ෂලා මහා කුමන්ත්‍රණයක් කර තිබෙනවා. ආහාර අර්බුදයක් මේ වසරේ එන බව ලෝකය ප්‍රකාශ කළේ අද ඊයේ නෙමෙයි. බොහෝ පාර්ශව හා රටවල් ඒ සදහා සූදානම් වුනෙත් අද ඊයේ පටන් නෙමෙයි. එහෙම අවස්තාවක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකා මුහුදු තීරයේ ගිනිගත්තා ඔබට මතක ඇති. ඒ අවස්තාවේ ලංකාවේ පාලක යාන්ත්‍රණය හැසිරුනු විදිය මතක් කරන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

ටෝචයක එලිය වඩාත් පුලුල් වන්නේ බිත්තියක් අසලට ලංකළ විටද බිත්තියෙන් පසු පසට යන විටද යන්න කල්පනා කර බලන්න. ගිනිගත් නැව ගැඹුරු මුහුදේ ලියවැල් වෙත ඇදගෙන යෑම හරහා ඔවුන් උත්සාහ කළේ ලංකාවේ ධීවර කර්මාන්තය විනාශ කිරීමට නොවේද? අවසානයේ ඒ වෙනුවෙන් ලංකාවට වන්දියක් හෝ ලැබුනාද යන්න මතක් කර බලන්න. මෙය ආහාර හිගයක් ලං වෙද්දී ලංකාවේ ජනයා වෙත එල්ල කල මරු පහරක් නොවේද? මුලු මහත් රටක් එපා කියද්දී රසායන පොහොර තහනම් කරමින් ජනාධිපතිවරයා නැටූ පිස්සුව ලංකාව දුර්වල කිරීමේ තවත් පියවරක් නොවෙයිද? ජනාධිපතිගේ අලුත් කැබිනට්ටුවේ සෞඛ්‍ය ඇමතිවරයා මාස්ක් ඉවත් කිරීමට අලුතින් ගත් තීරණය ඔබට පෙන්වන්නේ කුමක්ද? ඌව වෙල්ලස්සේ වගා ඉඩම් වලින් මිනිසුන් දොට්ට ඇද දමා පුද්ගලික සමාගමකට ඒවා දෙන්නට සැරසීම ඔබට පෙන්වන්නේ කුමක්ද? පැල සිටුවමින් ජන්දය ගෙන වනාන්තර එලි පෙහෙලි කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? අපගේ හදවත බදු සිංහරාජය තුල ජලාශ දෙකක් තැනීමේ ව්‍යාපෘති යෝජනාව ගැන ඔබ කල්පනා කලාද? අවසන් මොහොතේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය මුදල් අමාත්‍යවරයාගේ හැසිරීම ඔබට පෙන්වන්නේ කුමක්ද? අත්‍යාවශ්‍ය බෙහෙත් ඔබට අහිමිවීම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? මේ ආන්ඩුව බලයට ගෙන ඒමට අමූලික බොරු ඇදබාමින් ක්‍රියාකළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුලු අතලොස්සක් වූ වෛද්‍ය කණ්ඩායම ඔබ මෑතකදී දුටුවාද? ඔවුන් පෙනී සිටින්නේ ඔබ වෙනුවෙන්ද? තවත් බොහෝ කාරණා රැසක් ඇතත් ඔබට මා මතු කරනා වැදගත්ම කාරණාව තේරුම් ගැනීමට මේ ප්‍රමාණවත්ය. මේ සියල්ල සමගින් රාජපක්ෂ ආන්ඩුව ඔබේ ජීවිතයට මරණයේ තොණ්ඩුව දමමින් සිටිනා බව නොපෙනෙනවාද? ඒ කුමක් සදහාද යන්න මම පැහැදිලි කරන්නම්.

225 එපා කියන සටන් පාඨය මුලින්ම කරලියට එන්නේ පාස්කු කුමන්ත්‍රණය සමගින්. 225ට පිටින් ගෝඨා බලයට ගෙන එන්නට පාර කපන්නේ ඒ විදියට. එහෙත් 225 තුළ සිටි දූෂිතයින් යළි පාර්ලිමේන්තු පැමිණියේ නැද්ද? හැටනම ලක්ෂයේ මිනිසුනි, ඔබට 225 ම එපා කියමින් ඒ අයම ජන්දයෙන් තෝරාපත් කරන්නට රාජපක්ෂලා අවස්තාවක් දුන්නේ ඇයි? නැතහොත් ඔබලවාම ඔවුන් පාර්ලිමේන්තු ගෙන්නා ගත්තේ ඇයිද යන්න ඔබ කල්පනා කල යුතුමයි.

යලි විප්ලව යුගය ආපිට පැමිණ ඇත. චීන ඇමරිකා සටන ඉන්දියානු සාගර කලාපයේ සම්පත් බෙදාගැනීමේ සටනක් ලෙස ඇවිලී ඇත. මේ කිසිවෙකුට මෙන්ම රාජපක්ෂලාටද ලංකාවේ මිනිස් ජීවිතවල වටිනාකමක් නැත. ඔවුන්ට වුවමනා වී ඇත්තේ ලාංකීය භූමියේ පිහිටීමේ ඇති වැදගත් කම පමණයි. ඒ සදහා ඔවුන්ට ජන ශූන්‍ය කර දීම මේ වෙලාවේ රාජපක්ෂලාගේ කාර්යභාරය නොවේදැයි බලන්න.

ඉහත මා සටහන් කල කරුණු පිලිවෙලින් පරීක්ෂාකර බැලූ විට ඔබට එය වැටහෙනු ඇත. 225 ම එපා කියන මතවාදය ඔබේ හිස් ගෙඩිය තුලට ඇතුල් කරන්නේ පහසුවෙන් රට සූරාගෙන කෑමේ විදේශීය වුවමනාව වෙනුවෙන් බව ඔබට තවමත් නොවැටහේනම් වැඩි කලක් නොගොස් ඔබට එය ඔබේ දෑසින්ම දැකබලාගත හැකිය. 225 එපා කියමින් හදුන්නෙති වැනි අවංක දේශපාලන ක්‍රියාධරයන් නිවෙසේ තැබීමේ ප්‍රතිපල මෙන්ම විපක්ෂය සුලුතරයක් කිරීමේ ප්‍රතිපල අද ඔබ භුක්ති විදිනවාක් මෙන්ම අනාගතයේ වැඩිදුර නොගොස් ඔබට 225 එපා කීමේ රාජපක්ෂ කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපලද ලැබෙනු ඇත.

අද මිනිසුන් පාරට බැස කරනා අරගල සියල්ල අඩුවැඩි වශයෙන් රට පත්ව ඇති තත්වය මෙන්ම කුසගින්න ඉවසා ගැනීමට නොහැකිවීම හේතු වී ඇත. ඒ විරෝධයට 225 එපා යැයි කීම ඔබගේ සිරුරේ පිපිරෙන බෝම්බයක් ගැටගසා ඔබම මරාගෙන මැරෙන පුරවැසියෙකු කිරීමය. ඒ රාජපක්ෂලා ගත් මුදල් වලට හරියන්නට විදේශයන්ට මේ රට සූරාකෑමට පාර කපන්නකි. 225 තුල සිටිනා දූෂිතයින් නිවෙසේ තැබිය යුතුය. ඔබට අවශ්‍යනම් මාද නිවෙසේ තැබිය හැකිය. එහෙත් ඔබ විශ්වාස කරනා දූෂිත නැති පාර්ලිමේන්තුව නියෝජනය නොකළත්, දේශපාලනයේ නිවරදි දැකීමක් සහිත මිනිස්සුන් අනාගතය වෙනුවෙන් පත්කරගත යුතුමය. එසේ නොවුනහොත් රාජපක්ෂලා නැවත පත් කරගැනීම ඔවුන්ගේ තොන්ඩුවෙන්ම ඔබ ගෙල සිරකර ගැනීමකි. රාජපක්ෂවරුන්ගෙන් රට බේරාගැනීමට පාරට බැස අරගල කරනා ඔබ සියලු දෙනාට ආචාරකරමින් මා මෙතෙක් සදහන් කළ කරුණු පිලිබදව කල්පනා කර මරණය වෙනුවට ජීවිතය තෝරාගන්නා තීරණයක් ගැනීම ඔබසතු බව සිහිපත් කරමින් මම නවතිමි.
මෙයට
මනුෂ නානායක්කාර
අරගලයේ පුරවැසියෙකි