කූඨ බල ව්යාපෘතියකට පාර කපාගන්න අහිංසක මිනිස් ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා අදට දවස් දාහයි.තමන්ගේ අරමුණ ඉටු වෙනකන් සෑම 21 වෙනිදා දවසක්ම ගනන් හදමින් සිහිපත් කරපු හැටි අපිට මතකයි.ඒ අයට 21 විතරක් සිහිපත් වුණාට අපිටනම් ඒ බියගුළු ප්‍රහාරය හැමදාම මතකයි.

ඒ තමයි බල න්‍යාය පත්‍රය වෙනුවෙන් ජීවිත බිලිගත් නරුම නාටකය.

පාස්කු ප්‍රහාරයෙන් සිය ගානක් මියගියා.විශාල පිරිසක් වින්දිතයන් බවට පත්වුණා.

ඒත් ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ ඉඳලා සමහරු මාව කටු ඉඹුලේ එල්ලන්න හැදුවා.මේ මිලේච්ඡ ප්‍රහාරය ගැන සැක පළ කරලා මේ රටේ මුලින්ම කතා කළේ මම.එහෙම කතා කරපු මාව මානසිකව නොමරා මැරුවා.”පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු අපිට ලැබුණා.හැබැයි අපි නිහඬව හිටියා කියලා කියපු”පුද්ගලයා මේ රටේ කතානායක වුණා.ඒකම කියපු පුද්ගලයා මේ රටේ අගමැති වුණා.ප්‍රහාරය එල්ල වෙලා දවස් කීපෙකට පස්සේ එක පුද්ගලයෙක් මෙහෙම කිව්වා .

“මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා”

එහෙම කීව පුද්ගලයා රටේ ජනාධිපති වුණා.

සිය ගාණක් මරලා දාන්න කුමන්ත්‍රණය කරපු මහ මොළකාරයෝ අමතක කරලා මේ තිරිසන් ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් තියෙන බව කියපු මට පන්න පන්නා පහර දෙන තැනට සමහරු පත්වුණා.එනිසා පාස්කු ප්‍රහාරයේ මමත් වින්දිතයෙක්.ශාරීරිකව ඝාතනය කරනවට වඩා මානසිකව ඝාතනය කළාම දැනෙන වේදනාවේ ඛේදවාචකය මම අදටත් අත්විඳිනවා.

එදා මම කී දේ අද වෙනකොට අකුරක් නෑර ඇත්ත වෙමින් තියෙනවා.එක පැත්තකින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් බොහෝ දේ හෙළිදරව් වෙනවා.පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් වෙලා ඉන්න බොහෝ දෙනෙක් දැන් රැකවරණ පිට ඉන්නවා .සමහරු රජයේ සාක්ෂිකරුවන් වෙලා ඉන්නවා.සමහර සාක්ෂිකාරයෝ සියදිවි නසාගන්නවා.සමහරුන්ට දැන් පාස්කු ප්‍රහාරය කියනකොටත් ඒක කරදරයක් වගේ දැනෙනවා.

ඇත්ත කතා කිරීමේ වරදට සාහසික අපරාධකාරයෙකුගේ ලේබලය මගේ නම ඉදිරියේ අලවපු අයම අද ඒ ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් තිබුණු බව කියන්න පටන් අරන් තියෙනවා.

කාදිනල් හිමිපාණන් වහන්සේ මේ ප්‍රහාරය පිළිබඳව සැක සංකා මතු කරලා තියෙනවා.ප්‍රහාරය එල්ල වූ සැනින් අපි කී දේ අද දින දාහක් ගත වෙනකොට බොහෝ දෙනෙකුට පැහැදිලි වෙලා තියෙනවා.

දැන් මට මේ රටේ සර්ව සාධාරණත්වය අගය කරන මිනිස්සුන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.

” එදා මා කී කතාවද වැරදි?පාස්කු චූදිතයින් සැගවූ අයද වැරදි?

“ඒ ප්‍රහාරය එල්ල වූ දා සිට මේ දක්වා ,අනන්ත අප්‍රමාණ අවලාද අපහාස උපහාස,තර්ජන ගර්ජන මැද පාස්කු ප්‍රහාරයේ මුල මැද අග සොයන්නට අරගල කළ මා ද වැරදි ?,

ඒ සියල්ල රතු පාවඩ වලින් වසා දමන්නට උත්සාහ කරන අය ද වැරදි ?

ඒ අමානුෂික ප්‍රහාරයෙන් දින දාහක් සපිරෙන දා මම මෙහෙම කියනවා.

“මම දැනටමත් පහසු දේ කර ඇත්තෙමි. මම කරන්නේ දුෂ්කර දෙයයි. දෙවියන් වහන්සේ සමඟ මම එය සාක්ෂාත් කර ගන්නා බව මම දනිමි.”

මේ ප්‍රහාරය සැලසුම් කළ,ඊට වචනෙකින් හෝ උදව් කළ,ඒ

ප්‍රහාරය එල්ල කළ අය වගේම එයින් වාසි ගත් සියලු දෙනාට මේ මොහොතේ ශාන්ත පාවුලුතුමන් කී කතාව මම මෙහෙම කියනවා

“දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ කරන ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේ විසින් විනාශ කරනු ලැබේ, මන්ද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධ ය, ඒ දේවමාළිගාව ඔබ ය.”

උපුටා ගැනිම – හරීන් ප්‍රනාන්දු මහතාගේ facebook පිටුවෙන්