ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතට අනුව රෝගීන්ට විශිෂ්ට වෛද්‍ය සේවයක් ලබා දීමට මෙරට සෑම වෛද්‍යවරයෙක් ම නිත්‍යානුකූලව බැඳී සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. එවැනි තත්ත්වයක් යටතේ තත්ත්වයෙන් බාල ඖෂධ ලෙස හෝ සැලකිය නොහැකි ඉමිනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් සහ පිළිකානාශක එන්නත් ලබා දුන් රෝගීන්ට එම එන්නත් ලබාදීමෙන් පසුව සිදුවූ සංකූලතා හෝ මරණ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උනන්දු නොවීම බරපතළ අපරාධමය කරුණකට සහය දීමක් බව ඔහු කියනවා.

ඔහු පවසන්නේ වහාම ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකොට අදාළ රෝගීන් හය දහසකට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත ඉරණම සම්බන්ධව වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා වහා කටයුතු කළ බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥාව පනත අනුව සාපරාධී ක්‍රියාවකට අනුබල දුන් පුද්ගලයින් තවදුරටත් වෛද්‍යවරුන් ලෙස සැලකීමට හැකියාවක් නොමැති බැවින් මෙම ප්‍රශ්න සහගත තත්වයෙන් බාල ඖෂධ ජාවාරමට සම්බන්ධව දැනට සැකකරුවන් බවට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යංශය ඉහළ පරිපාලකයන් සම්බන්ධව වහාම කටයුතු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරනවා.

තත්ත්වයෙන් බාල ඉමිනෝග්ලොබියුලීන් ප්‍රතිදේශ සහ පියයුරු පිළිකා නාශක ඖෂධ හය දහසකට ආසන්න ප්‍රමාණයක් රෝගීන් වෙත ලබා දී ඇති අතර එම ඖෂධ කුමන රෝහල්වල කුමන වාට්ටුවල කුමන රෝගීන්ට ලබා දුන්නේ ද එම ඖෂධ ලබා දීමෙන් පසුව සංකූලතා හෝ ඉක්මන් මරණ සිදුවුයේදැ යි කඩිමින් විද්‍යාත්මක කමිටුවක් හරහා පරීක්ෂණ වාර්තාවක් සකස් කර ලෙස ඔහු පවසනවා. එම පරීක්ෂණය සිදුකර කොට එය ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උනන්දු නොවන්නේ ඔහුත් මෙම කුමන්ත්‍රණය කොටස්කරුවකු නිසාදැයි බරපතල සැකයක් නිර්මාණය වන බවයි වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ.

දැනට අධිකරණයේ දී විභාග වන තත්වයෙන් බාල ඖෂධ සම්බන්ධ නඩුවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ ධුර කාලවලට අදාළ ඉතා වැදගත් කැබිනට් ලිපිගොනු අතුරුදහන් වී ඇති බවට ප්‍රකාශයට පත්වීම ඉතා බරපතළ සැකයක් බවත් එම ලේඛන වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ කාලසීමාවේ දී අතුරුදහන් වී ඇත්නම් ඒ සම්බන්ධව වහාම නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් අදාළ අංශය අවධානය යොමු කළ යුතු බවත් ඔහු පවසනවා.