රට මේ තරම් ආර්ථික අර්බුදයකට වැටී තිබියදීත් රටට කිසිම බදු මුදලක් නොගෙවමින් ඔන් ලයින් ක්‍රමයට රට තුළ ක්‍රියාත්මකවන කැසිනෝ ව්‍යාපාර 03ක් ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (06)  පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.

මෙම සමාගම් වල ලිපිනයන් සොයාගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය නමුත් එම ලිපිනයන්වල අදාල ව්‍යාපාර නැති බව ඊයේ (05) පැවති මුදල් පිළිබඳ කාරක සභාවේ දී හෙළි වූ බව  සභාපතිවරයා පැවසුවේය.

“ මෙම ඔන්ලයින්  කැසිනෝ ආයතන රජයට කිසිම බද්දක් ගෙවන්නෙ නෑ. මේ   ලිපිනයන් සොයාගෙන ගිය දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාල ලිපිනයන්හි මෙම ව්‍යාපාර නොමැති බව පෙනී ගියා. නමුත්    අන්තර්ජාලයෙන් පමණක්  පමණක් මෙම ව්‍යාපාර තිබෙනවා.“

“දැනට කැසිනෝ ව්‍යාපර 07ක්  පමණ රට තුළ තිබෙනවා. නමුත් යම් පමණකට හෝ බදු ගෙවන්නෙ ව්‍යාපාර 04ක් පමණයි.“   ආචාර්ය හර්ෂ කීවේය.

ඊයේ  කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරිමේ පනත රජයේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ නමුත් එය අනුමත කීරීම තව දුරටත් ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසුවේය.

ඊට හේතුව මෙම පනත තුළ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අත්‍යාව්‍යශ වූ   ආයතනයක් පිහිටුවීම සම්බන්ධව විධිමත් ක්‍රියාවලියක් නොවීම බව කී සභාපතිවරයා මෙම ආයතනය පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය වසර දෙකක කාලයක් ඉල්ලා සිටි බව පැවසීය.

එපමණ කාලයක් ලබා දිය නොහැකි බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මතය වූ බවත්, මෙම ආයතනය කඩිනමින් පිහිටුවීම සඳහා යෝජනා කරන දින වකවානු  අද පස්වරු 3 ට පෙර ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශ  ලේකම්වරයාට නියෝග කළ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.