එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලෝක බැංකුවෙන් ලබා දෙන බැවින් ඔවුන් විසින් පොහොර මිලදී ගැනීමට අදාළව පනවා ඇති දැඩි කොන්දේසි මත එම පොහොර ගෙන්වීමේදී සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර ක්‍රමයක් සහිතව  වංචාවෙන් හා දූෂණයෙන් තොර ක්‍රියාවලියක් සහතික කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සන්ඩේ ටයිම්ස් ප්‍රවත් පත  වෙත  අනාවරණය කර තිබේ.

එම රෙගුලාසිවලට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ වාර්තා, ගිණුම් හා අනෙකුත් ලේඛන පරීක්ෂා කිරීමට හා ලෝක බැංකුව විසින් පත් කරන ලද විගණකවරුන් විසින් ඒවා විගණනයට කරනු ලබන අතර මේ ක්‍රියාවලිය සඳහා  කොන්ත්‍රාත්කරුවන් හා උප කොන්ත්‍රාත්කරුවන් විසින් ඉඩ  ලබා දිය යුතුය.

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 125 000ක් ආනයනය කිරීමට ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 350ක් හදිසි මූල්‍ය පහසුකම් යටතේ වෙන් කර තිබේ.

මීට අමරතව ලෝක බැංකුවේ අරමුදල් සහිත හදිසි අර්බුද ප්‍රතිචාර වැඩසටහනෙන් ද ප්‍රසම්පාදන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110ක් වෙන් කිරීමට නියමිත අතර අදියර පහක් යටතේ පොහොර බෙදා හැරේ.

ඒ සඳහා ලංසු තැබීම සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කෙරේ.

වංචාවෙන් හා දූෂණයෙන් තොර ක්‍රියාවලියක් සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ පටිපාටියට අනුකූලව ලංසු තැබීම සිදු කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.