පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව ආපසු සිය නිවස වෙත පිටව ගොස් තිබේ.

ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ මහරගම පිහිටි නිල නිවසට පැමිණීමෙන් අනතුරුව ය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වන ලෙස අභියාචනාධිකරණය අද (ජූනි 9) නියෝග කළේ ය.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ ය.

ගාලු මුව‍දොර විරෝධතාකරුවන්ට මැයි 9 වන දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (ජූනි 8) වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.