ආණ්ඩුවේ ඇමතිවරු එක එක වෙලාවට හිතු හිතු ප්‍රකාශ කරන බවත්, ඇතැමෙක් ඉල්ලා අස්වෙනවායැයි කියන බවත්, ඇත්ත වශයෙන්ම කළ යුත්තේ සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යාම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතාගේ ප්‍රතිපාදන යටතේ ඉදි කරනු ලැබූ ඛෙත්තාරාම ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ “යසස්සි පියස” ගොඩනැගිල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

ආණ්ඩුවේ ප්‍රධානීන් එක එක්කෙනාට ඇඟිලි දික් කරමින් තමන් නිවැරදි වන්නටත් අනෙකා පිට වරද පටවන්නටත් උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ රට ප්‍රපාතයකට තල්ලු කිරීමේ වරද එක් අයෙක් නොව, සමස්ථ ආණ්ඩුවම බාරගත යුතු යැයි ද පැවසීය. ඔවුන් රටට කළේ සාමූහික විනාශයක් බව පැවසූ විපක්ෂ නායකතුමා බොරු සෝබන සහ කයිවාරු කාරයන් දිනවීමේ ප්‍රතිඵලය රටටම අත්විඳින්නට සිදුව ඇතැයිද පැවසීය