ජනාධිපතිවරයා තම හීන සැබැ කර ගෙන රාජාසන කතාව කරන විට ගම්වල සිටින ජනතාව දුක්විඳින බවත් ගොවි තැනට අවශ්‍ය කෘමිනාශකවල සිට පාසල් සිසුවාට ඉගෙන ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැති බවත් එසේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක ලෝකෙටම ණය වෙලා පවත්වන නිදහස් දිනයේ ජංගම වැසිකිළි සඳහ ලක්ෂ 142ක මුදලක් වැය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජාසන කතා කළ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බවත් අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගිය දිනක මේ ප්‍රශ්න විසඳිය හැකි බවත් ඔවුන්ට මිනිසුන්ගේ දුක නොතේරෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රටට අවශ්‍ය ඇත්තේ පොඩි මිනිහාගේ පවා දුක තේරෙන මනුෂ්‍යත්වය අගයන, රජයන යුගයක් අවශ්‍ය බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (8) මහියංගනයේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

එක් පැත්තකින් ගෑස් මිල තෙල් මිල ඉහළ යන විට තවත් පැත්තකින් විදුලි බිල වැඩි වීමට නියමිත බවත් මෙවැනි ජනතාවට හානිකර විකෘති ආණ්ඩුව ගෙදර පැන්නීමට එක්ව කටයුතු කරන ලෙසත් මේ වන විට රටට අවශ්‍ය වී ඇත්තේ අපනයන කේන්ද්‍රීය, නිෂ්පාදන කේන්ද්‍රීය, ඩිජිටල් ආර්ථිකයක් බවත් නවීන තාක්ෂණය තුළින් දැවැන්ත කෘෂි විප්ලවයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය සමඟ එකතු වන ලෙස විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

රටේ ආර්ථිකය විනාශ කළ රාජපක්ෂ පරපුර අලියාට මුවා වී නැවතත් බලය ලබා ගැනීමට උත්සාහ කරන බවත් නැවතත් මන්ත්‍රීකම, ඇමතිකම ව්‍යාපාරයක් රස්සාවක් කළ කාලය අවසන් කර දේශ පාලනය නොව දේශ සේවය කිරීමට මින් ඉදිරියට පත්වන සියලු මැති ඇමතිවරු කටයුතු කළ යුතු බවත් එය දේශයට සවියක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.