Uber Eats’ (ඌබර් ඊට්ස්) සහ ඌබර් කුලී රථ රියදුරන් කීපදෙනෙක් මගීන්ට සිදු කළ විවිධ වංචා, පහරදීම්, බැනවැදීම් මෙන්ම ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රතිචාරය ගැන බීබීසී සිංහල සේවය විමසීමක් කළේය.

මෙම බොහෝ සිද්ධීන්වලට රියදුරන් සෘජුව සම්බන්ධ අතර, අදාළ මගීන්ගේ පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීමට ඌබර් සමාගම බොහෝ කාලයක් ලබා ගන්නා බවට ද චෝදනා එල්ල වේ.

වංචා හේතුවෙන් අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම ද කල් ගතවන ඉතා අපහසු ක්‍රියාවලියක් බව පුද්ගලයන් කීපදෙනෙක්ම සිය අත්දැකීම් හෙළිකරමින් පැවසූහ.

“ඌබර් ඊට්ස් සහ සහ කුලී රථ යන දෙකම සම්බන්ධයෙන් මට ඉතා නරක අත්දැකීම් තිබෙනවා. එක දවසක් මම ඌබර් ඊට්ස් හරහා ඕඩර් කරපු කෑම පරක්කු නිසා රියදුරුට ඇමතුමක් ගත්තා. ඔහු කියනවා මම ඉන්න තැනට ඇවිත් ඉන්නේ කියලා. නමුත් ඇප් එකේ පෙන්වන්නේ ඔහු ටිකක් එහායින් ඉන්නේ කියලා,” ශානි සිය අත්දැකීම් හෙළි කරමින් පැවසීය.