පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ දේශපාලන වාසිවලින් තොර, මඩ ව්‍යාපාරවලින් තොර දියුණු, ප්‍රගතිශීලී විසඳුමක් බවත් සත්‍ය පමණක් හෙළිදරව් විය යුතු බවත් එම සත්‍ය තුළ වගකීම හා වගවීම තිබිය යුතු බවත් 2019 ජනාධිපතිවරණයේ දී 2020 මහමැතිරණයේ දි පොරොන්දු වූ ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය සත්‍ය හෙළිදරව් නොකළ බවත් මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් කොතරම් හඩක් නැගුවත් ඒ හඬ වෙනුවෙන් රජය ඇහුම්කන් නොදුන් බවත් හැම දෙයක්ම මේ වන විට බොරුවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රස්තයන් අල්ලන්න වරමක් ලබා ගත් දිනයේ සිට මේ දක්වා සිදු කළේ තොරතුරු සැගවිම රැවැට්ටීම හා බොරුව බවත් තමා ජාත්‍යන්තර පරීක්ෂණයකට අකැමැති වුවත් මේ වන විට මෙය අවුල් ජංජාලයක් බවට පත්ව ඇති නිසා නිවැරදි ජාත්‍යන්තර පරික්ෂණයක් හරහා පමණක් මෙහි සත්‍ය අවබෝධ කර ගත හැකි බවට විශ්වාස කරන බවත් 2019 වරමක් ගත් පාලකයන් මේ වන විට ලක්ෂ 220ක මංමුලා කර ඇති මොහොතක තවදුරටත් කටකතාවලට සීමා විය නොහැකි බවත් මීට සම්බන්ධ සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුල කිසිදු සමාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ වන විට රටේ පාසල් පද්ධතිය මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ වන විට රට තුල කුඩු ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවත් මේ ගැන නිහඩව බලා සිටින්න තරම් කොන්ද පන නැති රටක් නොවන බවත් 30 වසරක යුද්ධයක් අවසන් කළ රටේ අලුත් විදිහට හිතා මේ ජාවාරම නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (10) දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය මගින් සංවිධානය කෙරුණු ගිහි පැවිදි ගෞරව සම්මාන උළෙලට එක්වෙමිනි.

එසේම 2023 වසරේ මුල් මාස 8ට කෝටි පන්ලක්ෂ හැටතුන්දහස් හාරසීයක් ණය අරන් ඇති බවත් අලි මිනිස් ගැටුම නිසා 2021, 2022 දී කෝටි 228ක් අලි වැටවල් ගහන්න වියදම් කළත් පසුගිය වසර 5ට අලි 1867ක් මිය ගොස් මිනිසුන් 618ක් ද අහිමි වී ඇති බවත් මේ වන විට රටේ කහ උන එන්නත නොමැති බවත් ඒ නිසා අප්‍රිකාවට යාමට නොහැකි 5000ක් පෝලිමේ සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

තව ද අපේ රටට කයිවරු, සෝබන, කටවචනයට සීමා වූ බෞද්ධකමින් බුද්ධාගම රැකගත නොහැකි බවත් බෞද්ධකම මහපොළොවේ යථාර්ථයක් වන ප්‍රායෝගික බෞද්ධයකු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාසයකට තරඟ විභාග පැවැත්වීම උදෙසා වන රුපියල් 15000ක මුදලවත් ලබා දීමට රජයට නොහැකි වි ඇති බවත් රටේ මුදල් නැහැ කියන එක එයට උත්තරයක් නොවන බවත් ජනාධිපතිටවත් රජයටවත් නොහැකි ඒ දේට දායකත්වය ලබා දීමට තමා කැමති බවත් එවැනි දෙයකට දායකවන විට මුදල් කොහෙන්ද කියා අහන ඇතැම් පුද්ගලයන් රටේ මහජන දේපල, සම්පත් අමු අමුවේ හොරා කා ඒවා පිටරට දූපත්වල බැංකු ගිණුම්වල ආයෝජනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

සෑම අවස්ථාවකම නිවැරදි දේ කොට වැරදි අඩුපාඩු ඌණතා අවම කර ගත් නිවැරදි ගමනක් යන්න අපේක්ෂා කරන බවත් බංකොලොත් භාවයෙන් රට ගොඩ ගැනීමට 75 වසරක ඉතිහාස ගමන උඩු යටිකුරු කරමින් රාජ්‍ය බලයක් තනතුරු බලයක් නොමැතිව බුදුන් වහන්සේ දේශනා කළ උතුම් උපදෙස අනුශාසනාව අනුගමනය කරමින් යම් වැඩ කොටසක් වත්මන් විපක්ෂය සිදු කරන බවත් කන්නන්නගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය තවත් ඉදිරියට ගෙන යන්න ලක්ෂ 3692ක් කැප කර බස් රථ 76ක් පරිත්‍යාග කර ඇති බවත් 77 වැනි බස් රථය ලබන සතියේ කළුතර දිස්ත්‍රික්කයේ පාසලකට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළින් පාසල් 33කට ලක්ෂ 290ක උපකරණ දුන් බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න හුස්ම වැඩසටහන යටතේ ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ බෙහෙත් හේත් රජයේ රෝහල් 56කට ලබ දුන් බවත් පැවසීය.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ විනිවිධභාවයකින් යුත් ක්‍රමවේදයකින් බවත් එහි කොමිස්, අල්ලස දූෂණ නොහැකි බවත් සියල්ල විවෘත විනිවිධභාවයකින් සිදු වන නිසා මේ ක්‍රමවේද රාජ්‍ය ගනුදෙනුවලටත් භාවිත කල යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ පාලකයා ජනතාවට පරමාදර්ශී විය යුතු බවයි.

ජනතාවට සේවය කරන්න බලයක් අවශ්‍ය නොවන බවත් බලයක් නොමැතිව වුව වැඩක් කරන හැටි පෙන්වූ බවත් එහි දී විවිධ බැනුම් ඇසූ බවත් ඒ බැනුම් නොතකා වැඩ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණය පැරදුණු දවසේ සිට චරිත ඝාතනය කරමින් බනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයැයි චෝදනා කළත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කිව්වා සේ අන්තිමට සත්‍ය ජයගත්තත් සත්‍ය ජය ගත්තේ රට බංකොලොත් වීමෙන් පසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෞරවය ලැබෙනවා සේම එම ගෞරවය විනාශ කරන්න විවිධ නින්දා අපහස එන බවත් බුදුරජාණන් වහන්සේ පැවසූ ආකාරයට මහා ඝන පර්වතයක් සතරවටින් හමන සුළඟ මැද්දේ නොසැලී සිටින්නා සේ නින්දා ප්‍රශංසා ඉදිරියේ ගුණවත් නැණවත් සියලු දෙන නොසැලී සිටිය යුතු බවත් වරදින පරදින කොට ඇත් වෙන එකත් හරි යද්දි ළං වෙන එකත් තමා සංසුන් මනසින් බාර ගත් බවත් මේ සෑමදෙයක්ම ඉදිරියේ සන්සුන් මනසින් බුද්ධිමත්කමින් යහපත් ගතිගුණවලින් බාර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.