ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ සම්ප‍්‍රදායන් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත්, රජය විසින් සිදුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියා වලක්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකීමට මැදිහත් වන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අන්තර් පාර්ලිමේන්තු සංගමයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයෙන් ඉල්ලා සිටී.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාට සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාට ලිපි දෙකක් යොමු කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා මේ ඉල්ලීම කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසින් යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයේ නොහික්මුණු මන්ත‍්‍රීවරුන් ගණනාවක් විසින් සිදු කරනු ලබන විවිධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ බිය ගැන්වීමේ හැසිරීම් පිළිබඳ විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරමි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවකට අනුව පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත‍්‍රීවරු ඔහුට පහරදීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළහ. මෙය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ගේ වරප‍්‍රසාද අමු අමුවේ උල්ලංඝනය කිරීමක් පමණක් නොව ඕනෑම මනුෂ්‍යයෙක් ලබා දී ඇති මූලික අයිතිවාසිකම්වලට එල්ල කරන දරුණු ප‍්‍රහාරයකි.

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු දිගින් දිගටම මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට වාචික ප‍්‍රහාර එල්ලකරමින් අසභ්‍ය ලෙස කෑ ගසමින්, තුවාල සිදුකරන වට තර්ජනය කළහ. වාසනාවකට මෙන් විපක්ෂය නියෝජනය කරන සෙසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ මැදිහත්වීම මත ඔහුට අඛණ්ඩව දෙවැනි දිනටත් යොමු කළ ප‍්‍රචණ්ඩත්වයෙන් ගැලවීමට හැකි විය.

පාර්ලිමේන්තුව තුළ සහ ඉන් ඔබ්බට ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කිරීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු ප‍්‍රචණ්ඩ බලය යොදා ගනිමින් සිටින බව මෙම සිදුවීමෙන් හා මීට පෙර සිදුවූ බොහෝ සිදුවීම්වලින් පැහැදිළි වෙයි.

ආණ්ඩුව විසින් ද්වේෂසහගතව කටයුතු කරන්නේ පාතාල සාමාජිකයින් කටයුතු කරන ආකාරයටය. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට තමන්ගේ අදහස් දැක්වීමේ අයිතිය හා විවාද කිරීමේ නිදහස වැලැක්වීමේ අරමුණින් ආණ්ඩුව කටයුතු කරමින් සිටි. ආණ්ඩුවට අද අවශ්‍යව ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ජනතා මතය ප‍්‍රකාශවීම නතර කිරීමටය.

ආණ්ඩුවේ හැසිරීම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවට පත්ව තිබේ.

රජය විසින් තවදුරටත් සිදුකරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා වැලැක්වීමට සහ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත්වි අවශ්‍ය ආකාරයේ සියලුම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.