විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගී නොවී පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර තිබේ.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවේදී පහරදීමට ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු විපක්ෂයේ ලොබියට කඩා වැදීමෙන් පසුව විපක්ෂය මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අද උදෑසන මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා අදහස් දැක්වීමෙන් පසුව කංචන විජේසේකර මන්ත‍්‍රීවරයා විපක්ෂයේ ලොබියට පැමිණ පහරදිමට උත්සාහ ගත්තේය. ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කතානායකවරයා අසලට පැමිණ මනුෂ නානායක්කර මන්ත‍්‍රිවරයාට අසබි වදනින් බැණ වැද්දේය.

මේ සමග ආරක්ෂාව සම්න්ධයෙන් ඇතිවූ ගැටලුව ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් මතුව ඇති බව පෙන්වා දුන්නේය. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කරන තුරු පාර්ලිමේන්තු විවාදවලින් ඉවත් වන බව පවසමින් විපක්ෂයේ සියලුම මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියහ.

ලක්ෂ්මන් කිරිඇල්ල – විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවී තිබෙනවා. ඊයේ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා විනාඩි පහක් වැඩිපුර ඉල්ලන විට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු මේ පැත්තට ඇවිත් ගහන්න ගියා. ඊයේ ඒ ප‍්‍රශ්ණය ඉවරයි කියලා අපි හිතුවා. ඒත් අද අපේ පැත්තේ ලොබියට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පහලොවක් විස්සක් විතර ඇවිත් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීතුමාට පහර දෙන්න හැදුවා. මන්ත‍්‍රීවරුනගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිනම් අපිට පාර්ලිමේන්තුවට එන්න බෑ.

පාර්ලිමේන්තුවේදී කවුරු හරි මොනවා හරි කිව්වානම් උත්තර දෙන්න ඔ්න. පාර්ලිමේන්තුවේදී කියපු දේවල්වලට ගහගන්නවා නම් අපිට පාර්ලිමේන්තුවේ එන්න බෑ. පාර්ලිමේන්තුවේදී කියන දේවල්වලට ලොබියේදී ගහන්න ගියොත් අපිට පාර්ලිමේන්තුවට එන්න බෑ.

ඒ නිසා අපේ ආරක්ෂාව තහවුරු වන තුරු අපි පාර්ලිමේන්තුවට එන්නේ නෑ.

ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා – අද ඇතිවුන සිද්ධිය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල පහරක්. ඊයේ දිනයේදී මේ මන්ත‍්‍රීතුරමාට ම් පැත්තට ඇවිත් ගහන්න හැදුවා. ආණ්ඩුවේ අය විපක්ෂයේ ලොබියට ඇවිත් ගහන්න එනවා නම්, ආරක්ෂාව දෙන තුරු අපි අය වැය විවාදයෙන් ඉවත් වෙනවා.

නලින් බණ්ඩාර – අද අපේ රටේ දැවැන්ත විරෝධයක් පාර්ලිමේන්තුවේ 225 ට ඇවිත් තියෙනවා. ඒක නැති කරගන්නවා වෙනුවට ආණ්ඩු පක්ෂයේ අය මේක තවදුරටත් වර්ධනය කරමින් සිටිනවා. අද ගමට යන්න බැරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අපිට ගහන්න යනවා.