ආණ්ඩුව නියෝජනය කරන ‍දේශපාලන කණ්ඩායම්වලට පවා මුහුණ දිය නොහැකි තත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අසරණ වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ජනතාව මුහුණ දී සිටින ගැටලු සහ ආණ්ඩුව තුළ තිබෙන අර්බුද සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් සමග සාකච්ඡා කිරීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළේ ඒ නිසා බවද හිටපු මන්ත්‍රීවරිය පවසනවා.

මෙවැනි තත්වයකට ජනාධිපතිවරයා අසරණ වී සිටින්නේ ඔහු සහ වත්මන් ආණ්ඩුව ගත් අවිධිමත් තීරණ නිසා බවත්, නිවැරදි තීන්දු තීරණ ගත්තේ නම් ජනතාවට මුහුණදීමට නොහැකි තත්වයට අසරණ නොවන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා. ජනාධිපතිවරයාට මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඔහු වටා සිටින උපදේශකයන්ගේ, විශේෂඥයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ මෝඩ උපදෙස් නිසා බවද ඇය පවසනවා.

කාබනික ගොවිතැන ඇතුළු බොහෝ තීරණ සඳහා ජනාධිපතිවරයාට බලපෑම් සිදු කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා පසුගියදා ජනාධිපතිවරයාද සහභාගි වන සාකච්ඡාවකදී පවසා තිබුණේ මිනිසාගේ ආයු අපේක්ෂාව අඩුවීමට ටැබ් පරිගණක භාවිතය, Pornography භාවිතයට හුරුවීම හේතු වන බවයි. හයිටි රාජ්‍යයේ ආයු අපේක්ෂාව අවුරුදු 95 සිට 45 දක්වා ඉතා වේගයෙන් පහත වැටුණු බවද ඔහු පවසා තිබිණි.

පාදෙනිය මහතා වැනි පුද්ගලයන්ගේ උපදෙස් මත තීන්දු තීරණ ගන්නා ජනාධිපතිවරයාගෙන් මීට වඩා සාර්ථක පාලනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන්නේ.