“2024 ජනාධිපතිවරණ ප්‍රචාරක උපක්‍රම සදහා ශ්‍රී ලංකා පොලිසිය යොදා ගැනීම හා රාජ්‍ය මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරණ උත්සාහයන් වැළැක්වීම” පිළිබඳව අවධාරණය කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතු ලිපියක් අද මැතිවරණ කොමිසමට භාරදී තිබේ.

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගේ හා පක්ෂවල නියෝජනයෙන් යුතුව මැතිවරණ කාල සීමාව තුල රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා යෙදවීම වැළැක්වීම සදහා සිදු කරනු ලැබූ ඉල්ලීම සලකා බලා පලාත් ආණ්ඩුකාරවරුන් විසින් සිදු කරන්නට යෙදුණු අයුතු කටයුතු වැළැක්වීමට ගත් මැදිහත්වීම අගය කරන්නෙමු.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන ආණ්ඩුව විසින් සිදු කරන්නට යන තවත් අකටයුතුකම් දෙකක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරන්නේ කඩිනම් මැදිහත්වීමක් අපේක්ෂාවෙනි.

01. පොලිස් නිලධාරින්, පොලීසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක රැළි සඳහා යෙදවීම

පොලිස්පති නිල කාර්යාලයේ ලිපි ශිර්ෂ යටතේ පොලිස්පතිගේ නියෝග මත, (එම ලිපිය අමුණා ඇත) ගරු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම සඳහා යැයි පවසමින් ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් සහභාගී වන රැස්වීම් සුදානම් කිරීමක් ආරම්භ කොට ඇත. මෙහි පළමු රැස්වීම පසුගියදා වැල්ලවායේ දී පැවැත්විණි.

පොලීසියේ සම්පත් යොදා ගනිමින් ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් රැස් කරමින් වැඩමුළු පැවැත්වීම මහා පරිමාණ ලෙස සිදු කිරීම සහ එවන් වැඩමුළුවක් සඳහා ප්‍රධාන උපදේශකවරයෙක් ලෙස ජනාධිපතිවරයා සහභාගී වීම විමතිය දන්වන කරුණකි.ඒ අනුව, මෙම රැස්වීම් මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් ය. මෙම රැස්වීම් සඳහා සම්පුර්ණයෙන්ම යොදාගන්නේ රාජ්‍ය සම්පත්ය.

මෙම රැස්වීම් මාලාවේ ඊළඟ රැස්වීම 2024.07.13 දින ජනාධිපති ප්‍රධානත්වයෙන් කෑගල්ල ප්‍රදේශයේ පවත්වන බව වාර්තා වේ. ඒ සඳහා එම ප්‍රදේශයේ සෑම ප්‍රජා පොලිස් ඒකකයක්ම ආවරණය වන පරිදි 15 දෙනෙකු බැගින් සහභාගී කරවන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

02. රාජ්‍ය මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමේ උත්සාහය

පසුගිය පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමේ එක් ප්‍රධන උපායමාර්ගයක් වූයේ රාජ්‍ය මුද්‍රණාලය විසින් සිදු කරනු ලබන ඡන්ද පත්‍රිකා මුද්‍රණයට බාධා කිරීමයි.

අප වෙත වාර්තා වී ඇති පරිදි කැබිනට් මණ්ඩලය විසින් මුද්‍රණාලයේ සේවකයින්ගේ දිරි දීමනා සංශෝධනයක් සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. එසේම, රජයේ මුද්‍රණාලය නව ස්ථානයක ස්ථාපිත කිරීමට ද නිර්දේශ කර ඇත.

රාජ්‍ය මුද්‍රණාලය මැතිවරණයට කෙතරම් වැදගත් ද යන්න මා විසින් විශේෂයෙන්ම ඔබ වෙත දැන්විය යුතු නොවේ. මෙවන් වැදගත් අවස්ථාවක මුද්‍රණාලයේ සේවකයන් අතර ව්‍යාකූලතාවයක් ඇතිකොට මැතිවරණ කටයුතු සඳහා බාධා පැමිණවීම මෙම උත්සාහයේ පැහැදිලි අරමුණ බව අපගේ නිරීක්ෂණයයි.

සභාපතිතුමනි,

i. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය දේපළ හෝ රාජ්‍ය නිලධාරීන් දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා යෙදවිය නොහැක.”

ii. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කටයුතු සඳහා පොලීසිය යෙදවීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභා විධානයන්ට යටත් වේ.”

iii. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(උ) ව්‍යවස්ථාව ප්‍රකාරව සියලු රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ විධි විධානයන්ට යටත්ව මැතිවරණ කටයුතු සඳහා සහය ලබාදිය යුතුය.”

ඒ අනුව,

1. පොලිස් නිලධාරීන් හා පොලීසියේ සම්පත් අනියමින් මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම සඳහා යෙදවීම වැලැක්වීමට කඩිනම් පියවර ගැනීම (වත්මන් පොලිස්පතිවරයා පත් කිරීමත් සමඟ ඔහු කෙරෙහි වන ලබැදියාවන් අතර බැඳියාව සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ඇතැයි සිතමි)

2. රාජ්‍ය මුද්‍රණාලයේ උපරිම දායකත්වය මැතිවරණ කටයුතු සඳහා ලැබෙන බවට සහතික කර ගැනීම හා අනවශ්‍ය ව්‍යාකූලතාවයන් ඇති කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහයන් වැලැක්වීමට කටයුතු කිරීම.

යන කරුණු සඳහා ඔබ මැතිවරණ කොමිෂන් සභාව ලෙස කඩිනමින් මැදිහත් වන ලෙසත්, එහි ප්‍රගතිය සම්බන්ධව අපව ද දැනුම්වත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි!

රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම.)
මහලේකම්
සමගි ජන බලවේගය