අයවැයෙන් සේරම විසදන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් බව පාර්ලිමේන්ති මන්ත්‍රී මනූෂ නානායක්කාර පැවසුවේය.

එමෙන්ම මේ වන විට ගමේ සංවර්ධනය යැයි පවසමින් ගමට මුදල් වෙන් කරන්නේ ඉදිරි මැතිවරණයේදී ගමට මුදල් බෙදීමට බවත් දෙන සල්ලි වලට රැවටී ජන්දේ භාවිතා නොකර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට හදන පිරිසකට ජන්දේ දෙන්නැයි ද ඔහු පේනවා දුන්නේය.

මේ ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අපිට දැනගන්න තියෙනවා බඩුමිල ඉහල ගිහින් තියෙනකොට බදු මිලට අදාලව කටයුතු නොකර අයවැය හරහා මැතිවරණයට සුදානම් වීමක් නම් ආණ්ඩුවේ තියෙනවා කියලා. සහන දෙනවා කියලා ආවට අවුරුදු දෙකක් වෙනකොටවත් කිසිම සහනයක් නැහැ. නමුත් දිනපතා මැති ඇමතිවරුන්ට නම් සහන ලැබුනා. තාක්ෂණික දෝෂ කියලා නඩු ඉල්ලා අස් කර ගත්තා. එහෙම කලාට නැවත ඒ නඩු පවරන දවසකුත් නැහැ. රාජපක්ෂ කදවුරේ වැරදි කරපු අයටයි, ගජ මිතුරන්ටයි වාසියි. එයාලා හොදටම හම්බ කරගෙන දැන් කියන්නේ අපිට නම් මොනවා වුනත් කමක් නැහැ කියලා. මෙහෙම තියෙද්දී ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට සල්ලි දෙන්න සුදානම් කරලා.

ගමේ සංවර්ධනය වෙන්න ඕන. අපි ඒක පිලිගන්නවා. නමුත් මේ බිලියන ගණක මුදල් ගමට යන්නේ ජෝකින් පාර්ත් හදන්න, නැත්නම් ගමේ තැනක පස් පිඩලි ටිකක් අල්ලන්න. මේ වෙලේ ඒකද ඕන ? මේ වෙලේ අවශ්‍ය මිනිසුන්ගේ බදු මිල අඩු කරන එක. තෙල් මිල ඉහල යන එක නතර කරන එක. කිරිපිටි අඩු ගානට දෙන එක. එන්නත්කරණය හොදින් සිදු කිරීම වගේම රෝග තත්වයන්ගෙන් බේරා ගන්න එක. ඒක පැත්තකට දාලා, ගමේ සංවර්ධනයට සල්ලි දාන්නේ, ගමේ ඉන්න තමන්ගේ කට්ටියට සල්ලි යවලා ගමේ ජන්දෙට අවශ්‍ය දේවල් කර ගන්න. පළාත් සභා මැතිවරණ කතාව එනකොට පන්සල් වල බෝම්බ හම්බ වෙනවා. ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න එනවා. මේ අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බදන්න සුදානමක් තියෙනවා. අපි ජනතාවගෙන් අහනවා තව දුරටත් ඔබ මේ අල්ලස් දේශපාලනයට රැවටෙනවා ද? මැතිවරණ කාලේදී විතරක් බඩකට පිරුණම ඇතිද ?අපේ දරුවන්ගේ අධ්‍යාපනය හොදට හදලා, ඔවුන්ට රැකියාවක් කල හැකි වටපිටාවක් නිර්මාණය කරන එක කවද්ද නතර කරන්නේ? තමන්ට කර ගන්න ඕන වෙනකොට නෙලුම් කුළුණු හදනවා. සම්මන්ත්‍රණ ශාලා හදනවා. ඒක හරිද?

මිනිස්සු ජන්දය වෙනුවෙන් දුප්පතුන් බවට පත් කරන්න ක්‍රියාත්මක කරන ක්‍රමයට ඔබ නැවත වතාවක් අහු වෙනවා ද ? බඩු බෙදුවම ඔබලා ජන්දේ දෙන්න සුදානම් ද ? දෙන සල්ලි ගන්න. මොකද මේවා මැදමුලනෙන් ගේන සල්ලි නෙමෙයි. එයාලගේ සල්ලි පැනමා පේපර්ස් වල හංගලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ සල්ලි බෙදනකොට ඒවා අරන් ඒක කන්න බොන්න වියදම් කර ගන්න. ඒත් ජන්දේ දෙනකොට දරුවන්ගේ අනාගතේ ගැන හිතලා තමන්ගේ දරුවන්ට ජිවත් වෙන්න පුළුවන්, රටක් හදන දේශපාලනයක් වෙනුවෙන් ජන්දේ දෙන්න. නැවතත් රැවටෙන්න එපා.