නිදහස් වෙළඳ කලාපය කැලිවලට කඩා විකිණීමට නව පනතක් ආණ්ඩුව ගෙන ඒ්මට සුදානම් වන බව දුෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු සහ සමගි වෘත්තිය සමිති මෙහෙයුම් විධායක නිරෝෂන් පාදුක්ක මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඒ් මහතා මේ බව සඳහන් කළේය.

”ජේ.ආර් ජයවර්ධන මහත්තයා 1978 ආරම්භ කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කැලි වලට කඩා ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සහ කරනවා. ඒ් අනුව ජනාධිපතිවරයාගේ රාජ්‍ය සම්පත් විකිණීමේ සුපුරුදු ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කරලා තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මේ වනවිට සමාගම් 2000 ක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යටත්ව සමාගම් 1521 ක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවසරය සහිතව සමාගම් 475 ක් ක්‍රියාත්මක වෙනවා. රටේ අපනයන ආදායමෙන් සියයට 66 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යටතේ තිබෙන සමාගම්. ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වාර්ෂිකව බිලියන 20 ක් සේවක අර්ථ සාධක අරමුදලට ලබාදෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1096 ක් සේවය කරනවා කලාප වල 665 ක් සේවය කරනවා. ඒ් වගේම ප්‍රධාන කාර්යාලයේ 431 ක් සේවය කරනවා. රටේ සමස්ත වාර්ෂික බද්දෙන් සියයට 3 ක් ලැබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන්. භාණ්ඩාගාරයට අයවැය හිඟය පියවා ගැනීමට අවශ්‍ය වු විට වාර්ෂිකව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආදායමෙන් මහා භාණ්ඩාගාරය ලබාගන්නවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පසුගිය වසරේ ලාභය මිලියන 5500 ක්.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වෙළඳ කලාප 15 ක් තිබෙනවා. ඊට අමතරව තවත් වෙළඳ කලාප දෙකක් හම්බන්තොට සහ ඒරාවුර්වල ඉදිවෙනවා. ඒ් වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කලාප වල සේවයකන් එක්ලක්ෂ තිස් දෙදහස් පන්සිය හතලිස් තුනක් සේවය කරනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කලාප හරහා ඩොලර් බිලියන 3 ක් අපනයන වලින් ලංකාවට ගෙනත් දෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආර්ථික කොමිසම සහ ආයෝජන කලාප ලෙස කොටස් 2 කට කඩන්න සුදානම් වෙනවා. ඒ් වගේම විදේශ වෙළදාම සඳහා කාර්යාලයක් , ජාත්‍යන්තර වෙළඳාම වැඩි කිරිම සඳහා කාර්යාලයක් සහ ඵලදායිත්වය වැඩි කිරිම හා ප්‍රතිපත්ති සැලසුම් කියලා කාර්යාලයක් නිර්මාණය කිරිමට යෝජනා කරලා කරලා තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආර්ථික කොමිසමට හිටියේ අධ්‍යක්ෂවරු 5 දෙනයි. නමුත් දැන් ඒ් සඳහා අධ්‍යක්ෂවරු 10 ක් පත්කරන්න ජනාධිපතිවරයා සූදානම් වෙනවා. ඊට අමතරව අධ්‍යක්ෂ ජනරාල් වරයෙකුත් සිටිනවා.

ඒ් වගේම ආයෝජන කලාප නිර්මාණය කිරීමට සැලසුම් කරලා තිබෙනවා. ආර්ථික කොමිසමේ නිර්දේශ මත ඇමැතිවරයා විසින් පත් කරන 7 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් , සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ද පත් කළ යුතුයි. මේ හරහා සිදු කරන්න යන්නේ වෙළඳ කලාප කඩලා විකුණන්න.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආදායමෙන් සියයට 46 ක් ලැබෙන්නේ නිදහස් වෙළඳ කලාපවල ආදායමෙන්. පසුගිය අවුරුද්දේ මිලියන 2700 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙළඳ කලාපවලින් මුදල් එකතු කරගෙන තිබෙනවා.

කාර්යක්ශමතාවය සඳහා කියලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන නිදහස් වෙළඳ කලාප කැලි වලට කඩලා විකුණන්න කටයුතු කරනවා. මේ හරහා ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂවරුන්ට හැකියාව තිබෙනවා නිදහස් වෙළඳ කලාප කැලි කැමැති කෙනෙකුට විකුණන්න.

මෙම මහා ගනුදෙනුවේ මහ මොළකරු වන්නේ එවකට අමාත්‍ය මලික් සමරවික්‍රම. එවකට ඔහුගේ අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස කටයුතු කළ චාන්දනි විජේරත්න සහ එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිව ලෙස කටයුතු මංගල යාපා දෙපළ තමයි මේ සඳහා පනතක් නිර්මාණය කරන්නේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවසර ලබා නොදුන් සමාගමකට විෂය භාර ඇමැතිවරයාට අවසර ලබාදෙන්න පුලුවන්. වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරන ආයෝජන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න මේ පනත හරහා හැකියාව ලැබෙනවා.

ආයෝජන මණ්ඩලයේ වත්මන් සභාපති දිනේශ් වීරක්කොඩි මෙහි කටයුතු සියල්ල හොදින් සමිබන්ධීකරණය කරමින් මෙම පනත ක්‍රියාවට නැංවීමේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවශ්‍යතා ඉටු කරමින් සිටිනවා. ආයෝජන මණ්ඩලයේ වත්මන් සභාපති කොන්දක් තියෙන්න ඔන මේ පනතට එරෙහි වෙන්න.

ඒ් වගේම වෙළඳ කලාප වල රාජකාරී කරන‌ සේවකයින්ගේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවය කළ සේවකයින්ගේ රැකියා අනාරක්ෂිත වනවා. ඉදිරියේදී ඔවුන්ට ලැබෙන දිරි දිමනා , ගමනා ගමන පහසුකම් , රක්ෂණ ආදිය ද අනාගත පෞද්ගලික අයිතිකරුවන් විසින් ඔනෑම වේලාවක ඉවත් කිරිමට හැකියාව තිබෙනවා.

ඒ් වගේම ඉදිරියේදී ග්‍රැෆයිට් ලංකාවේ ප්‍රධාන ආදායමක් බවට පත්වෙනවා. මේ සඳහා විදෙස් සමාගම් කිහිපයක්ම අවදානයෙන් සිටිනවා. ඒ් සමාගම් වලට ලංකාවේ ග්‍රැෆයිට් විකුණන සෙල්ලමකුත් ක්‍රියාත්මක කරනවා.”