වත්මන් ආණ්ඩුව මේ වන විට සමාජ මාධ්‍ය නියාමන පනත සහ ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කර ඇති බවත් මෙම පනත් දෙකම අදිපතිවාදී, හිට්ලර්වාදී පනත් දෙකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසනවා.

මින් පෙර මෙවැනි පනත් ගෙන ඒමේ දී ආණ්ඩුවට ලැබුණු ජනතා විරෝධයත් සමඟ, හකුළාගත් පනත් නැවතත් ගෙනෙමින් සිටින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

නව ත්‍රස්ත විරෝධී පනත මින් පෙර ගෙන ආ පනතට කිසිදු පරස්පරතාවක් නොමැති බවත් රජයට විරෝධීව අදහස් දක්වන සියලු දෙනා මර්දනය කිරීමට ගෙන ආ පනතක් බවත් ඒ වගේම මාර්ගගත ක්‍රමවේද වල සුරක්ෂිතතාව යනුවෙන් කෙටුම්පත් කර ඇති පනත මගින් ද සමාජ ජාලා දඩයම් කිරීම, ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ සහ  තොරතුරු දැනගැනීමේ නිදහසට සෘජුවම පහරක් එල්ල කරන බව එතුමා මේ අවස්ථාවේදී අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේය.

මෙම නව පනත් කෙටුම්පත් දෙකෙහිම සංයුතිය තුළම ජනාධිපති වරයාගේ හස්තයක් ක්‍රියාත්මක වන බවත් පාලක පක්ෂයේ ඕනෑ එපාකම් ඉටු කරන හස්තයක් ලෙස ක්‍රියාත්මක වන බවත් මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව කෙටුම්පත් කර ඇති පනත හරහා පත් කරනු ලබන කොමිෂන් සභාව ජනාධිපති වරයාගේ ඕනෑ එපාකම් ඉටු කරන කොමිසන් සභාවක් බවත් එම කොමිෂන් සභා වලට ස්වාධීන නියෝජිතයින් පත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු උවමනාවක් නැති බවත් එතුමා අවධාරණය කළේය.

ඉදිරියේදී ජනතාවට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු, ආර්ථික ගැටලු ආදී නොයෙකුත් ගැටලු විසඳා ගැනීමට ජනතාව විරෝධය දැක්වීමේ දී පවා මෙම මාර්ගගත පනත හරහා රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සේ සලකා දඬුවම් පැමිණිය හැකි බවත් මෙවැනි අත්තනෝමතික පනත් කෙටුම්පත් හරහා රජයට අවශ්‍ය හිතුවක්කාරී, අත්තනෝමතික, අධිපතිවාදී පාලනය ගෙනයාමටත් එම පාලනයට එරෙහිව කටයුතු කරන සියලු දෙනා මර්දනය කිරීමට මෙම පනත් යොදා ගන්නා බවත් එතුමා පැවසීය.