රටේ දේශපාලඥයින්ට ඕන විදිහට හැසිරිලා ටෙලිකොට් ආයතනය බංකොලොත් කළොත් පී බී ජයසුන්දරලාට අත්වුණ ඉරණමට වඩා භයානක ඉරණමක් අලුත් සභාපති ඇතුළු පිරිසට අනාගතයේදී අත්වීමට හැකියාව තිබෙන බවත් දේශපාලඥයින් කියන විදිහට රාජ්‍ය ආයතන තුල තීන්දු තීරණ ගැනීම තුලින් පෞද්ගලිකවම අමාරුවේ වැටීමට සිදුවන බවත් නිරෝෂන් පාදුක්ක මහතා කියා සිටී.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (08) දින පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නිරෝෂන් පාදුක්ක මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

‘‘රනිල් රාජපක්ෂ දිසානයක මහත්තයා රටේ ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට බලපෑම් කළා නඩුවක් ඉල්ලා අස් කර ගන්න කියලා. ටෙලිකොම් සමාගම සතු මොබිටෙල් ආයතනයේ සභාපතිවරයා නඩුවක් දැම්මා එයාටෙල් ආයතනය ඩයලොග් ආයතනය මිලදි ගැනීමට එරෙහිව. සංඛ්‍යාත වැඩි ප්‍රමාණයක් එක් සමාගමකට යාම නිසා ඒකාධිකාරයක් හිමිවීම තුළ එම ක්ශ්‍රේත්‍රයේ ඇතිවන ප්‍රශ්නය නිසා තමයි ඔවුන් නිතිය ඉදිරියට ගිහින් මේ කටයුත්ත වළක්වාලන්න කටයුතු කළේ.

ඒ අතර රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායකට මොබිටෙල් ආයතනයේ සභාපතිවරයාට කිව්වා නඩුව ඉල්ලා අස් කරගන්න කියලා. නමුත් මොබිටෙල් ආයතනයේ සභාපතිවරයා නඩුව ඉල්ලා අස්කර ගන්න අකමැති වුණා. ඉන්පසු පරණ අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත්කරලා 2024 / 01 / 24 වැනිදා අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත්කරනවා. ඔවුන් සියලු දෙනා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්. රටේ දේශපාලඥයින්ට ඕන විදිහට හැසිරිලා ටෙලිකොට් ආයතනය බංකොලොත් කළොත් පී බී ජයසුන්දරලාට අත්වුණ ඉරණමට වඩා භයානක ඉරණමක් අලුත් සභාපති ඇතුළු පිරිසට අනාගතයේදී අත්වෙන්න පුලුවන්. දේශපාලඥයින් කියන විදිහට නටලා අමාරුවේ වැටෙන්න එපා කියන පණිවිඩය අපි අලුත් ටෙලිකොට් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට කියන්න ඕන.”