අද මුළු රටම ගිනිකන්දකය. මැවූ සිහින සියල්ල උඩු සුළගකට ගසාගෙන ගොස්ය. එදා ලීක්වාන්ලා, මහතීර් මොහමඩ්ලාට සමාන කරමින් සිදුකළ සුරංගනා කථා කී අයටත්, අද තරු පෙනී ඇත. අප දන්නා ඉතිහාසය තුළ කිසි කළෙක අත් නොදුටු ව්‍යසනයක අභියසටම රට පැමිණ ඇත.
කෙළවරක් නැති ආර්ථික ප්‍රශ්නවලින් ජනතාවගේ ජීවිත කඩා වැටී ඇත. එකපිට එක පැටවෙන ජීවන බරින් මිනිසුන්ගේ ආතතිය හොදටම ඉහළ ගොස්ය. ජනතාව මුලින්ම කථා කළේ ගෑස් මිළ ගැනය. ඊට පසු ගෑස් හිගය සහ ගෑස් පෝලිම් ගැන කථා කළහ. අනතුරුව කථාකරන්නට පටන්ගත්තේ ගෑස් බෝම්බ ගැනය. ඊළගට ගෑස් මරණ ගැන කථා කළහ. භූමිතෙල් පෝලිම් ගැන ඊලගට කථා කළෙමු. ගිනි ගණන්වලට විකුණන භූමිතෙල් ලිප්වලින් අනතුරුව දර ලිපටම පල්ලම් බැස ඇත්තෙමු. දැන් කථා කරන්නේ ඉහළ මිලට විකිණෙන දරමිටි ගැනය.
ලිපේ ප්‍රශ්නය ඒ අයුරින් විසදගත් අපේ උදවිය ඉන්පසු බලා හිදින්නේ දර ලිපේ හෝ කුඩු ලිපේ තියා සකස් කරගෙන දරුවන්ට දෙන්නේ මොනවාද කියායී. කිරිපිටි නැත. දිග පෝලිම් ඇත. හාල් ප්‍රශ්නය විසදන්නට හමුදාව පවා යෙදවූවත් ප්‍රශ්නයට විසදුමක් නැත. වෙළදපොලේ මිළ තීරණය කරන්නේ හාල් ඒකාධිකාරීත්වයමය. පාරිභෝගික අධිකාරිය, වෙළද හා කෘෂිකර්ම අමාත්‍යාංශ නාමිකව පවතී.
ආර්ථික අර්බුදය ඇත්තකී. එහෙත් සූරා කෑම තව දෙයකී. කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කරගන්නාවූ යුගයක් උදාවී ඇත. ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුව පවතිද්දීත්, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තව තවත් වැඩිකරමින් සිටී. එහි බලපෑම සෑම ක්ෂේත්‍රයකටම බලපාන්නට පටන්ගෙන ඇත. ගෑස්වලට අමතරව දැන් පෙට්‍රල් මිලද වැඩිවී ඇත. ඩීසල් මිලද වැඩිකර ඇත. භූමිතෙල් මිලද වැඩිකර ඇත.
ගෑස් හිගය හේතුවෙන් රටපුරා හෝටල් සහ බේකරි වැසීයාමක්ද පටන්ගෙන ඇත. ඩීසල්, පෙට්‍රල් මිල නැංවීම හේතුවෙන් බස් රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ, කුලී වාහන ගාස්තු ඉහළ දැමීම සිදුකරමින් සිටී.
මේ අතර පොහොර හිගය පිළිබදව ගත් දඩිබිඩි තීරණය, වී ගොවිතැනට පමණක් නොව එළවළු වගාවට, අල වගාවට, තේ වගාවට ඇතුළු අපේ සියළු ගොවිතැන් සහ වැවිලි ක්ෂේත්‍රය සදහා අහිතකර බලපෑම් ඇතිකරමින් සිටී. මේ තීරණය අපේ අපනයන ආදායමද රින පැත්තකට ඇද දමා ඇත. ගොවි සහ වැවිලි ක්ෂේත්‍රයේ ජනතාව මේ තත්වය තුළ ජීවත්විය නොහැකි තත්වයකට පත්කර ඇත.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම බේත් හේත් පවා ගෙන්වා ගැන්මට තඹ සතයක් ඉතිරි නොවන පසුබිමක, ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත්වීමට යන බවට ඇති බිය රට වෙලාගෙන ඇත. තුන්බියෙන් ඇලලී ගිය විශාලා මහනුවර පිළිබද ඉතිහාසය මතකයට නැගේ.
එළෙඹ තිබෙන තත්වයට වගකිව යුත්තේ අතීත නායකයන් බව චෝදනා කරමින්, තමන්ගේ අසාර්ථකභාවය සාමාන්‍යකරණය කිරීමට රජය ලැජ්ජා සහගත උත්සාහයක් ගනිමින් සිටී. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නොමිලේ ඉඩම් ප්‍රදානය කළ ජනපද ව්‍යාපාර, නිවාස වැඩපිලිවෙල, මහපොල, මහවැලිය පමණක් නොව උතුර සහ දකුණ ගිනි ඇවිලුණූ යුගයක ජනසවිය සහ ඇගලුම් කම්හල් දෙසීයේ වැඩපිලිවෙල ඇතුළු පෙළගැස්විය හැකි ජනතා මෙහෙවරයනට උරදුන් උදාර නායකයිනට අවමන් කරමින් සුපුරුදු මිථ්‍යාව පැතිරවීමේ රජයේ ප්‍රයත්නය දකින්නට ඇත.
මෙම අදුරු අභාග්‍යසම්පන්න තත්වයෙන් ගොඩ ආ යුතුව ඇත.මේ ඒ සදහා අදිටන් කරගත යුතු මොහොතයී. පෙරමුණ ගතයුතු මොහොතයී.
ඉම්තියාස් බාකීර් මාකාර්