කාන්තාවන්ට අපහාස වන අන්දමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (22) අයවැය විවාදය අතරතුර කතාබහට ලක් විය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළේ වැදගත් දෙමව්පියන්ට ජාතක වූ කිසිවෙකුටත් තිස්සකුට්ටආරච්චි මන්ත්‍රීවරයාගේ අපහාසාත්මක ප්‍රකාශය වැනි ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි. එමෙන්ම එවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ තබා සාමාන්‍ය කතාබහකදී පවා ශීලාචාර පුද්ගලයෙකුට සිදුකළ නොහැකි බවද මන්ත්‍රීවරිය සඳහන් කරනවා.
තමාගේ නම ඈඳා ගනිමින් තමන් ප්‍රකාශ නොකළ අදහස් ප්‍රකාශ කළ බව පවසමින් අසත්‍ය ප්‍රකාශ කළ බවත්, එසේම පාර්ලිමේන්තුවේ නොසිටින, පාර්ලිමේන්තුවේ පිළිතුරු දීමට අවස්ථාවක් නොමැති ජලනි ප්‍රේමදාස මහත්මියගේ නමද ඈඳා ගනිමින් මන්ත්‍රීවරයා අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවත් කවිරත්න මහත්මිය සඳහන් කරනවා.
තිස්සකුට්ටිආරච්චි මහතා ඉතා බරපතල අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරද්දී පාර්ලිමේන්තුවේ මූලාසනයේ සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා, තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ අපහාසාත්මක ප්‍රකාශය තේරුම් නොගැනීම ඉතා බරපතල තත්වයක් බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙද්දී පවා අපහාසයක් සිදු නොකළ බවට තීරණය කිරීම කතානානයක පුටුවටද සිදුකළ අපහාසයක් බවත් රෝහිණී කවිරත්න මහත්මිය පෙන්වා දෙනවා.